2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් 27 දෙනෙකු මරණයට පත් වීමේ සිද්ධියේ සාක්ෂිකරුවකු වන මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලට මෙම නඩුවේ පළමුවන සැකකරු වන පොලිස්පරික්ෂක නියොමාල් රංගජීව විසින් තර්ජන එල්ල කර ඇති බව ඒ සම්බන්ධ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඊයේ (08) කැඳවූ අවස්ථාවේදී අධිකරණයට දන්වා තිබේ.
ඒ පිළිබඳව කසුන් පුස්සෙවෙල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම වින්දිතයන් සුරැකීමේ පොලිස් කොට්ඨාසයට පැමිණිලි කර ඇති බවද නීතිඥවරු අධිකරණයට දන්වා ඇත.
මෙහිදි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ එවැනි පැමිණිල්ලක් ලැබී තිබේ නම් ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.
නඩුව නැවත කරඳවන 22වනදාට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන්ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මේ වනවිට අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබේ.
මෙහි තවත් සැකකරුවකු වන හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ලබන 22වනදා දක්වා තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමටද අතිරේක මහේස්ත්‍රාත් වරයා නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.