Posted on 09.09.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
නම් කරන ලද භාණ්ඩ 623ක් ආනයනය කිරීම සඳහා පවතින සීමා තවත් දැඩි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නව කොන්දේසි පනවා තිබේ.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සහ හදිසි නොවන භාණ්ඩ යයි නම් කරන ලද මෙම භාණ්ඩ ආනයනය කිරීමේදී ආනයනික භාණ්ඩ තොගයේ මුළු වටිනාකම ආනයනකරු විසින් වාණිජ බැංකුවක තැන්පත් කිරීම අනිවාර්යය කර ඇත.
ජංගම දුරකථන, රූපවාහිනී, විදුලි පංකා, ගෘහ උපකරණ, මාළු, චීස්, පලතුරු, සෙල්ලම් බඩු, ඇඳුම් ඇතුළු භාණ්ඩ සඳහා මෙම කොන්දේසි පනවා ඇත.
එම භාණ්ඩ ආනයනකරුවන්ට ණය පහසුකම් ලබා නොදෙන ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් දී ඇත.
කිසියම් ආනයනකරු විසින් යම් භාණ්ඩ තොගයක් ආනයනය කරන්නේ නම් එම භාණ්ඩ තොගයේ මුළු වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් වාණිජ බැංකුවක තැන්පත් කිරීම නව කොන්දේසි යනුව අනිවාර්ය කර තිබේ.
එලෙස බැංකුවක මුළු වටිනාකම ට අයත් මුදල් තැන්පත් නොකරන ආනයනකරුවන්ට මෙම භාණ්ඩ ආනයනය කිරීමට අවසර ලබා නොදෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රට තුළ විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා ආනයනය ක වියදම් සීමා කර ගැනීමේ පියවරක් ලෙසත් මෙම කොන්දේසි පනවා ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
