தமிழ்
English
Contact
Friday 21st January 2022    
වෙළඳ ඇමතිගේ ආයාචනයක් නිසා චීනයෙන් සහල් පරිත්‍යාගයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෙළඳ ඇමතිගේ ආයාචනයක් නිසා චීනයෙන් සහල් පරිත්‍යාගයක්!



චීනයේ නිෂ්පාදිත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක ප්‍රදානයක් ලංකාවට ලබාදීමට චීනය තීරණය කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ පාලනය පසුගිය වසරේ විශාල මාධ්‍ය ප්‍රචාරයන් හරහා සහල් මාෆියාව පරාජය කරන බවට පුරසාරම් කීවද සහල් මිල පාලන ගැසට් නිවේදන නිකුත් කරමින් නැවත එම නිවේදන හකුලා ගන්නා ලදී. මේ වනවිට සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි ජීවන වියදමක් අත්කරදී ඇති පසුබිමක සහල් මිලද ඉහළ අගයක පවතී. මෙම තත්වය තුළ මිල පාලනය සඳහා සහල් ආනයනය කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණද ඒ සඳහා ඩොලර් නොමැතිකම ගැටලුවක් විය. මේ අනුව, චීනය විසින් සහල් ප්‍රදානයක් සූදානම් කරන බවට චීන තානාපතිවරයා දැනුම් දී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (18) රාත්‍රි පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රදානය ලබාදීමට පසුබිම් වී ඇත්තේ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කළ ඉල්ලීමක් අනුව බව පැවසේ. චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ ගිවිසුමට මේ වසරට වසර 70ක් සම්පූර්ණ වීඹ නිමිත්තෙන් ලංකාවට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් නොමිලේ ලබා දෙන්නයි බන්දුල ගුණවර්ධන චීන තානාපති වරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

එහිදී එම ඉල්ලීම මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා යොමු කරන ලෙස චීන තානාපතිවරයා කළ දැනුම් දීමට අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එම ඉල්ලීම චීන තානාපති කාර්යාලය වෙත ලිඛිතව ඉදිරිපත් කර තිබිණි.

කෙසේවෙතත් චීනයේ නිෂ්පාදිත සහල් රසායනික පොහොර යොදා නිෂ්පාදිත ඒවාද නැත්නම් ආණ්ඩුව කියූ ආකාරයට කාබනික වගාවෙන් නිෂ්පාදිත සහල් ගෙන්වන්නේදැයි මාධ්‍යවේදින් ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කරන ලදී. එහිදී ඒ සම්බන්ධ පිළිතුරුදීමට බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සම්බන්ධ කරගත යුතු බව ආණ්ඩුවේ ඇමතිවරු පවසා තිබිණි.