ශ්‍රීල.නි.ප. මධ්‍යම කාරක සභාව 15 කල්ලිය ගැන අද තීන්දුවක් ගනී!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අද දින සාකච්ඡාකරන කරුනු අතර ආණ්ඩුවෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ ඇතුලු පොදුජන පෙරමුණේ දේශපාලනය සමග සබදතා පවත්වන 15 කණ්ඩායම පිළිබද තීරණයක් ගැනීමද අවධානයට ලක්වන බව ශ්‍රිල.නි.ප. ආරංචි මාර්ග හෙළිකරයි.

මධ්‍යම කාරක සභාව  අද(16) පස්වරුවේ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි. ඔහු පවසන ආකාරයට පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව සහ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිතව තිබේ. එසේම මෙම මධ්‍යම කාරක සභාවාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මධ්‍යම කාරක සභා සාමාජිකයින් කැදවා ඇති බවද මේ පිළිබඳව දැනුම් දී ඇති බව පැවසුනද පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 15 දෙනා සහභාගි නොවීමට තීරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ කණ්ඩායම සමග භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් රාජපක්ෂ කණ්ඩායමට අයත් වාසුදේව නානායක්කාර විසින් ගෙන ආ අදහසක් අනුව දේශපාලන සංවාදයක් ආරම්භ වී ඇති අතර එය මහින්ද රාජපක්ෂගේ බලය තහවුරු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට යමින් තිබේ. මේ තත්වය තුළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුවේ සිටිය යුතුද නැද්ද වැනි කරුණු පවා පවසමින් විවිධ පාර්ශ්ව අදහස් පළ කරන අතර සංවාදයේ තීරක ලකෂ්‍ය ලෙස හිටපු ජනාධිපතිවරයා අවධානයට පැමිණ ඇත. මේ නිසා සිය සභාපතිත්වය ඇති පක්ෂය කෙසේ කටයුතු කල යුතුද යන්නත් එහිදී තවමත් ශ්‍රීල.නි.ප. සාමාජිකයන් බව කියාගන්නා 15 කණ්ඩායම පොදුජන පෙරමුණ නමැති වෙනත් පක්ෂයකින් දේශපාලනය කරමින් සිටින හිටපු ජනාධිපතිවරයා සමග දක්වන සබදතාව ප්‍රශ්න කල යුතු බව උපදේශකයන් විසින් ජනාධිපතිවරයාට කරුණු දක්වා ඇත. අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී මේ සම්බන්ධ 15 කණ්ඩායමේ නියෝජිතයන් සමග සාකච්චාවක් සිදුකර තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළේ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට 15 කණ්ඩායම ලිඛිතව කළ ඉල්ලීමට අනුව ආණ්ඩුවෙන් ඉවත් වන තුරු මධ්‍යම කාරක සභාවට සහභාගී නොවන බවය.

Chandana Sirimalwatte :