සවුත්ලන්ඩ් බාලිකාවේ පාලකයන් කළ අසාධාරණයට මව්පිය විරෝධය!

ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ ආසන්නව වාසය කරන පවුල්වල දැරියන් පළමුවසරට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම දැරියන්ගේ මව්පියන් ඇතුළු සමාජ ක්‍රියාකාරින් විරෝධතා දක්වා ඇත.

පාසලට මීටර් 500ක් ඇතුළත ජීවත්වන නිසා ආසන්න පදනමින් මෙම දැරියන් වෙනුවෙන් අයදුම්පත් ඉදිරිපත් කර ඇතත් පදිංචිය සම්බන්ධව ඔප්පු හෝ බදු ගිවිසුම් ඉදිරිපත් කිරීමට නොහැකි නිසා ඔවුන් ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. පදිංචිය සනාථ කිරීමට වරිපනම් ගෙවු සාක්ෂි, ඡන්ද හිමි නාමලේඛන ඉදිරිපත් කළද විදුහල් බලධාරින් ඒවා සියල්ල ප්‍රතික්ෂේප කර නිවසේ හිමිකාරිත්වය සනාථ කරන ලෙස කුතර්ක ඉදිරිපත් කර ඇත. එසේ ආසන්නව වාසය කරන දැරියන් ප්‍රතික්ෂේප කරමින් අකුරැස්ස වැනි ප්‍රදේශවල දැරියන් පාසලට ඇතුළත් කරගෙන තිබීම නිසා තමන්ට අයුක්තියක් සිදුවන බව මව්පියෝ චෝදනා කරති.

ඊනියා ජනප්‍රිය පාසල්, ජාතික පාසල් ලේබලයෙන් මේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට පහසුකම් සහිත පාසල් හිමිකරගැනීමේ අයිතිය උදුරාගෙන ඇත්තේ මේ දක්වා මෙම අයුක්ති සහගත අධ්‍යාපන ප්‍රමිතින් පවත්වාගෙන යන පාලකයන්ය. විදුහල්පතිවරු සහ අධ්‍යාපන නිලධාරින් විසින්ද පාසල්වලට දරුවන් ඇතුළත් කරගැනීමේ දූෂිත ක්‍රමවලට වගකිව යුතුය. ඔවුන් විවිධ තැරැව්කරුවන් හරහා පාසල් දරුවන් ඇතුළත් කරගැනීමේ ජාවාරමට සම්බන්ධය. ‘අධ්‍යාපනය අයිතියක් – වෙළෙද භාණ්ඩයක් නොවේ!’ යන සටන් පාඨය ඔස්සේ මෙම තත්වය වෙනස් කිරීම සදහා අරගලය දිගටම ගෙන ආ ශිෂ්‍ය ව්‍යාපාරය පාසල් දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ යුතු කාලය එළඹ තිබේ.

Chandana Sirimalwatte :