සාමාන්‍ය ජනතාව මත පැටවෙන වක්‍ර බදු දෙගුණ වෙලා !

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව මත ක්‍රියාත්මක වෙන වක්‍ර බදු 2017 වසර වනවිට දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව 2015දී රුපියල් බිලියන 214ක් වූ වැට් බදු 2017 වන විට රුපියල් බිලියන 443.74ක් දක්වා ඉහළ ගොස් ඇති බව සුගියදා නිකුත් කෙරුණු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2017 වසර සඳහා වන කාර්ය සාධන වාර්තාව මගින් අනාවරණය වී තිබේ.

මෙය බදු ප්‍රමාණය 107.2%කින් ඉහළ යාමකි.

නමුත් ඍජු බද්දක් වන ආදායම් බදු ප්‍රමාණය 2015 වසරේ සිට 2017 වන විට 11.57%කින් අඩු වී තිබේ. එනම් රුපියල් බිලියන 256.43 සිට රුපියල් බිලියන 229.84 දක්වා අඩුවීමක් සිදුවී ඇත.

තව ද පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණේ 2017 වසර අවසන් වන විට අය කර ගැනීමට නොහැකි වූ බදු ප්‍රමාණය රුපියල් මිලියන 19343ක් හෙවත් බිලියන 19ක් බව ය.

මෙම ආණ්ඩුව 2015 බලයට පත්වන විට ප්‍රකාශ කරනු ලැබුවේ ජනතාව මත පැටවී ඇති වක්‍ර බදු අඩුකර ඍජු බදු වැඩිකරන බවයි. ඒ සඳහා සුපිරි වාසි බද්ද සහ මන්දිර බද්ද යනුවෙන් ධනවතුන් සඳහා බදු වර්ග දෙකක් හඳුන්වා දීමට නියමිත බව ප්‍රකාශ කරන ලදී. ඔවුන් එය සරදියල් පන්නයේ අයවැයක් ලෙසද හඳුන්වා තිබුණි. නමුත් දැන් සුපිරි වාසි බදු සහ මන්දිර බදු ගැන කිසිදු කතා බහක් නැත. ඒ වෙනුවට ආණ්ඩුව තව තවත් ජනතාව මත බදු පටවමින් සිටින ආකාරය මෙම වාර්තාව පෙන්නුම් කරයි.

Sithara Sajeewani :