Posted on 02.14.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශිය පිහිටි කොළඹ හතේ බෞද්ධාලෝක මාවතේ අංක 375 දරන ස්ථානයට අයත් පර්චස් 189 ක භූමිය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට සූදානම් වන බව සිළුමිණ පුවත්පත වාර්තා කර තිබේ.
මිට පෙර 2009 දීත් 2016 දීත් මෙම ස්ථානය ජපන් සංවිධානයකට දීමට උත්සාහ දැරූ මොහොතේ කලාකරුවෝ ඊට එරෙහිව අරගලයක නිරත විය.
මේ සම්බන්ධයෙන් සිළුමිණ පුවත්පත සිංහල සංස්කෘතික ආයතනයේ වත්මන් සභාපති ඩබ්ලිව්. ජයසිරි සම්බන්ධ කර ගත් විට ඔහු පවසා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සමඟ සාකච්ඡාවක් පවත්වා ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වන බවය.
ආණ්ඩුවේ නායකත්වය විසින් කොළඹ වටිනා ඉඩම් සමාගම්වලට විකුණා කොමිස් උපයාගැනීමේ මෙහෙයුමක් දියත්කරමින් සිටින බවට චෝදනා එල්ල වෙමින් පවතියි. ඉතා මෑතකම ක්‍රියාත්මක වූ එවැනි ව්‍යාපෘතියක් වන්නේ මැනිං වෙළඳපොළ එම ස්ථානයෙන් ඉවත්කර එම වටිනා ඉඩම සමාගම් වෙත ලබාදීමේ සැලසුමක් පවතින බව හෙළිවිය. ඊට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ඉඩම් විකුණාදැමීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විශ්ව විද්‍යාල ආචාරය්වරුන් මෙන්ම ශිෂ්‍ය ප්‍රජාව චෝදනාකර සිටී.
මීටත් අමතරව විවිධ ආණ්ඩු කාලයෙන් කාලයට නගරාශ්‍රිතව ජිවත්වන ජනතාව පලවා හරිමින් එම ඉඩම් අත්පත් කරගැනීම සිදුකරමින් සිටින්නකි. මේ සෑම කටයුත්තකදීම විවිධ ආණ්ඩු හේතු ලෙස සඳහන් කර සිටින්නේ මෙම ඉඩම් විශාල පරිමාණයෙන් ආර්ථික ප්රතිලාභ උඵදවන ආයෝජන වෙනුවෙන් යෙදවිය යුතු බවයි.