සෙට්ටිකුලම ප්‍රදේශයේ යුධ හමුදා ගොවිපොළක් පවත්වාගෙන යන ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලා සෙට්ටිකුලම වැසියෝ ඊයේ(4) විරෝධතාවයක නිරත වූහ.
වන්නි ආරක්ෂක සේනාවන්ට අයත් යුධ හමුදා ගොවිපොළක් සදහා සෙට්ටිකුලම ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේ ඉඩම් අක්කර 100 පමණ ප්‍රමාණයක් පවරාගෙන ඇති අතර, ජනතාව පදිංචිව සිටි ඉඩම් යුද්ධයෙන් පසුවද වසර ගණනාවක් එලෙස ආරක්ෂක අංශ භාවිතයට ගෙන ඇති බැවින් අදාළ ඉඩම් වහාම නිදහස් කළ යුතු බව ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම් වී තිබේ.
ජනාධිපතිවරයා උතුරේදී එක්තරා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ආරක්ෂක අංශ භාවිත කරන උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් පසුගිය දෙසැම්බර් 31 වැනිදාට පෙර නිදහස් කරන බවට ප්‍රකාශ කළද මේ වන තෙක් අදාළ ඉඩම් නිදහස් කළේ නැති බව විරෝධතාකරුවන් පවසා තිබේ. සෙට්ටිකුලම මැණික්ෆාම් කඳවුරු ස්ථාපිත කොට තිබු ඉඩම්වලින් කොටසක් මෙලෙස යුධ හමුදා ගොවිපොළක් වෙත පවරාගෙන ඇති අතර, අදාළ ගොවිපොළ තුළ තමන්ට හිමි ඉඩම්ද භාවිත කරමින් ස්ථිර දීර්ඝකාලීන බෝග පවා සිටුවන්නට හමුදාව විසින් කටයුතු කරන බවද ප්‍රදේශවාසීන්ගේ මැසිවිල්ල වී තිබේ. ප්‍රදේශවාසීන් ඉල්ලීම් කරනු ලැබුවේ රජය ලබාදුන් පොරොන්දු ඉටු කරමින් හමුදා කඳවුරක් පවා නොමැතිව ගොවිපොළක් වෙනුවෙන් පවරාගෙන ඇති අදාළ ඉඩම් කඩිනමින් නිදහස් කළ යුතු බවයි. සිය ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරමින් ජනයා විසින් සකස් කළ සංදේශයක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම්වරයා වෙත භාරදෙනු ලැබීය.