මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති නාවික හමුදා කඳවුර කිසිදු හේතුවක් මත ඉවත් නොකරන බව ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි.
කිසිදු හේතුවක් මත අදාළ නාවික හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට බල කරමින් පසුගිය දින කිහිපය පුරා විවිධ විරෝධතා ක්‍රියාත්මක විය. තම මුල් ගම්බිම්වල නාවික හමුදා කඳවුර ස්ථාපිත කර ඇති බැවින්, එය වහාම එම ප්‍රදේශයෙන් ඉවත් කරගන්නා ලෙස විරෝධතාකරුවෝ පවසති. එහෙත් විරෝධතාකරුවන් නඟන චෝදනා අසත්‍ය බව පෙන්වා දෙන නාවික හමුදාව ඉතා සුළු භුමි ප්‍රදේශයක පමණක් මුල් පදිංචිකරුවන් සිටින බවද පෙන්වා දෙයි.
විරෝධතාකරුවන් කියා සිටියේ පැවති යුදමය තත්ත්වය හේතුවෙන් 1990 වසරේදී තමන් සිලාවතුර ප්‍රදේශයේ සිය ඉඩම් අතහැර කල්පිටිය ප්‍රදේශයේ අවතැන් කදවුරු වෙත ගොස් ජිවත් වූ බවය. යුද සමයේදී සිය මුල් ඉඩම් අත්පත් කරගත් නාවික හමුදාව එහි කදවුරක් ඉදි කළ බව පවසන විරෝධතාකරුවෝ යුද ගැටුම් නිමාවීමෙන් අනතුරුව 2009 සිය පදිංචිය සොයා පැමිණි විට සිය මුල් ඉඩම් අහිමි වී තිබුනු බව ඔවුහු පවසති. යුද්ධය නිමා වුවත් ඉඩම් අහිමි වීම හේතුවෙන් තමන් නැවත වතාවක් අවතැන්ව සිටින මේ ජනයා මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචිව සිටිති.
යුද්ධය අවසන් කර දස වසරකට ආසන්න කාලයක් ගත වී ඇතත් ගැටුම් පැවති ප්‍රදේශවල වාසය කළ අවතැන් ජනතාවගේ ඉඩම් අක්කර 4,241ක් තවමත් ආරක්සක අංශ විසින් භාවිත කරමින් පවතී.