ඇතිමලේ ප්‍රදේශය තුළ ගොවි ජනතාව විසින් වගාකරන ඉඩම් මැලිබන් සමාගම විසින් කොල්ලකෑම වහාම නවතා දමන ලෙස ‘ගොවි අරගල ව්‍යාපාරය‘ ආණ්ඩුවට බලකර සිටී.
අද (26) මොණරාගලදී පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේ ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා විසිනි. ඔහු එහිදී මෙසේද ප්‍රකාශ කලේය.
“සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතිමලේ ප්‍රදේශය තුළ පිහිටි වත්තෙගම රජමහ විහාරයට අයත්ව දැනට ගොවි ජනතාව විසින් වගාකරන ඉඩම් අක්කර 2100ක් විහාරාධිපති විහාරමුල්ල හිමියන් විසින් ඇතිමලේ වැවිලි සමාගමට විකුණා දමා ඇත. මැලිබන් සමාගමටද අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් විකුනා දමා ඇත. ඇතිමලේ වැවිලි සමාගම විසින් ලබාගෙන ඇති ඉඩම්වල වගාකටයුතු කරන ගොවි ජනතාව විසින් උද්ඝෝෂණයක නිරත වනවිට ප්‍රාදේශීය ලේකම්වරිය මැදිහත් වී සති 2ක් තුළ විසදුමක් ලබාදෙන බව කීවද තවමත් විසදුමක් ලබා දී නැත. මැලිබන් සමාගමට ලබා දී ඇති ඉඩම් යනු පසුගිය කන්නයේ ගොවි ජනතාව වගාකළ ඉඩම් නිසා පසුගියදා එම ගොවින්ට එහි යාමට අවහිර කරමින් වැටක් ඉදිකර ඇත. නමුත් ඒවා පසුගිය දිනවලදී ගොවින් සී සාමින් වගාවට සූදානම් කළ ඉඩම්ය. 1962 පමණ සිට මෙම ඉඩම්වල වගාකළ ගොවියන්ගෙන් මෙසේ ඉඩම් පැහැරගෙන ඇත. මේ සම්බන්ධ ආරවුල පසුගිය 25 වැනිදා විභාගයට ගත් විට මැලිබන් සමාගම විසින් ඉල්ලා සිටියේ ගොවින් ඉඩම්වලින් ඉවත්කර දෙන ලෙසයි. මහේස්ත්‍රාත්වරයා ඊට අවසර නොදුන් නමුත් ඇතිමලේ පොලිසිය සමාගමට අවශ්‍ය පරිදි ගොවි ජනතාවට ඉවත් කරමින් තිබේ. අවුරුදු 30-40 ගොවිතැන් කළ ගොවීන් මෙසේ පොලිසිය මැදිහත්ව පළවා හරිමින් සිටින්නේ මැලිබන් සමාගම පැත්ත අරගෙනය. මෙම අයුක්තිය වැලැක්වීමට රජය මැදිහත්විය යුතු බව ගොවි අරගල ව්‍යාපාරය බලකර සිටී. “
භික්ෂුන් පිළිබද ගෞරවය ඇති නිසා ගොවි ජනතාව ඇතැම් අවස්ථාවල වැරදි දකිමින් ඉවසාගෙන සිටියද සිය ජීවිත සම්බන්ධ ගැටලුවක් ලෙසින් ඔවුන්ගේ වගා ඉඩම් අහිමි කිරීමේදී ඉවසා නොසිටින බවද එහිදී අවධාරණය කරණ ලදී.
“අවුරුදු ගණනාවක් සිය ශ්‍රමය කැප කරමින් වගා කළ ඉඩම්වල අයිතිය ගොවි ජනතාවට දියයුතුයි. අක්කර දාස් ගානක් විකුණලා කෝටිගණන් උපයාගන්න භික්ෂුන් කටයුතු කිරීම වැරදියි. පසුගිය දිනවල බෞද්ධ කටයුතු කොමසාරිස් මැදිහත් වෙමින් පන්සල්වල සාමාන්‍ය ජනතාවගෙන් පින්කැටවල එක් රැස්වන මුදල් පිලිබද කටයුතු කළා, පින්පෙට්ටිවලට සීල් තැබුවා. නමුත් විහාරස්ථානවල ඉඩම් විකුනා උපයාගන්නා මුදල් සම්බන්ධයෙන්ද ඒ හා සමානව වගකීමෙන් කටයුතු කළ යුතු බව අපි ආණ්ඩුවට බලකර සිටිනවා. මහානායක හිමිවරුන්ද මෙවැනි විහාරස්ථානවල කටයුතු සම්බන්ධයෙන් පාලනයක් කරන්න මැදිහත් වියයුතුයි.“
Save