Posted on 09.04.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දිවයින පුරා රැකියා විරහිත උපාධිධාරින් දහස් ගණනක් දැනට ආණ්ඩුව ප්‍රකාශකර ඇති පුරප්පාඩු සඳහා බඳවාගන්නා ලෙස බල කරමින් ඒකාබද්ධ රැකියාවිරහිත උපාධිධාරි සංගමය සැප්තැම්බර් 9 වැනිදා අරගලයකට සූදානම් වෙති.
මේ දක්වා ආණ්ඩුව උපාධිධාරින්ට රැකියා පිරිනමන බවට ගෙන යන ප්‍රචාරය හා සත්‍ය තත්වයේ පරස්පරය විශාලය. අගෝස්තු 13 වැනිදා රැකියා විරහිත උපාධිධාරින් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස ආණ්ඩුවේ බලධාරින් පවසා තිබුණේ බඳවාගත් උපාධිධාරීන් අතුරින් වැඩ බාර නොගන්නා පත්වීම් 2016 දක්වා වන බාහිර උපාධිධාරීන්ගෙන් පුරවන බවය. ඒ වනවිටත් වැඩ බාරනොගත් පත්වීම් ගණනයකර නොතිබූනි. නමුත් මේ වනවිට 4300කට වඩා පත්වීම් බාර නොගෙන ඇති බවට ප්‍රකාශ වී තිබෙන්නේ පත්වීම් ප්රදානය කිරීමේ උත්සවයේදී බාරනොගත් ප්‍රමාණය වන අතර, සත්‍ය අගය තවත් වැඩි වේ.
මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම HNDA උපාධිධාරීන් පිළිගත් විශ්වවිද්‍යාල නාම ලේඛනයට ඇතුළත් කර නැති බැවින් බඳවා නොගන්නා බව පවසමින් එම උපාධිධාරීන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා වී ඇත.
එසේම පුරප්පාඩු සීමිත බැවින් 2013න් පසු (බාහිර ) 2016න් පසු (අභ්‍යන්තර) ඉතිරි උපාධිධාරීන් දෙපිරිසම බඳවා ගැනීමට නොහැකිය යන්න ආණ්ඩුවේ බලධාරින් පවසන තවත් ව්‍යාජ හේතුවකි.
කෙසේවෙතත් 2013 වසරේ පමණ ආරම්භ කළ රැකියා විරහිතයන්ගේ වත්මන් අරගලයේ මූලික ඉල්ලීම් වූයේ පළාත් මට්ටමින් ගුරු පත්වීම් ලබාදීම කඩිනම් කිරීමය. මේ දක්වා එම ඉල්ලීම් ඉටු නොකළ ආණ්ඩුවට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය දැන් බලකරමින් සිටින්නේ මැතිවරණ නාම යෝජනා කැඳවීමට පෙර 2019 වසර දක්වා උපාධි සහතික හිමිව සිටින සියලු උපාධිධාරීන්ට පවතින පුරප්පාඩු සඳහා රැකියා ලබාදීමට මැදිහත් වන ලෙසයි.
මේ වනවිට මැතිවරණ ආසන්නවී ඇති අතර, නව පුරප්පාඩු බඳවා ගැනීමට අදාළ කැබිනට් අනුමැතිය ලැබී නැත.
රැකියා විරහිත උපාධිධාරින් සියලුදෙනා 2018 ජූනි 30 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් විධිමත් සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වී ඇති අතර පුරප්පාඩු තිබෙන බැවින් අනිවාර්යයෙන් සියලුදෙනාට රැකියා ලබාදිය යුතුව තිබේ. මේ තත්වය තුළ තවදුරටත් බාහිර , අභ්‍යන්තර ලෙස නොබෙදී රැකියා දිනාගැනීම වෙනුවෙන් අඛණ්ඩ සටනකට එක්ව රැකියා ලබාගැනීමේ අරගලය වෙනුවෙන් පෙරමුණ ගන්නා බවද සැප්තැම්බර් 9 වැනිදා කොළඹදී දැවැන්ත අරගලයකට සූදානම්වන බවද ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය අවධාරණය කරයි.
.