தமிழ்
English
Contact
Wednesday 23rd June 2021    
ජනතා අයිතිවාසිකම්, පොලිස් බලය යොදා යටකරන්න දෙන්නෙ නෑ! - දුමින්ද නාගමුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනතා අයිතිවාසිකම්, පොලිස් බලය යොදා යටකරන්න දෙන්නෙ නෑ! – දුමින්ද නාගමුව



මෝදර ධීවර ජනතාව සාමකාමීව පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය මැදිහත් කළ ආණ්ඩුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චූදිතයා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

ධීවර ජනයා මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව විරෝධය දැක්වීමේ අයිතිය, වැඩකරන ජනතාව සටන් කර ලබා ගත්, රටේ ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ලබාදුන් අයිතියක් බව පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඔහු මේ බව පැවසුවේ නුගේගොඩ පෙ.ස.ප. කාර්යාලයේදී ජූනි 21 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

මේ වනවිට කොරෝනා වසංගතය නිසා බැට කමින් සිටින ජනතාව අතර ධීවර ජනතාව දුෂ්කරතා ගණනාවකට මුහුණ පා සිටින බව දුමින්ද නාගමුව එම මාධ්‍ය හමුවේදී පෙන්වා දෙයි. විශේෂයෙන් කොළඹ වරාය නගරය නිසා ඇති වූ සාමුද්‍රික වෙනස්කම්වලින් පීඩා විඳිමින් සිටි මෝදර අවට ධීවර ජනතාවට වෙළඳ නැවක් අනතුරට පත්වීම නිසා ඇති වූ පාරිසරික විනාශයෙන් බරපතළ පීඩාවක් උද්ගතව ඇත. එක් පැත්තකින් මත්ස්‍යයන් හා සමුද්‍ර පරිසරය දැඩි ලෙස විනාශයට හා දූෂණයට ලක්වීමෙන් මෙන්ම රසායනික අපද්‍රව්‍ය නිසා රුපියල් දහස් ගණන් වටිනා දැල් ආම්පන්න විනාශයට ලක්වීමේ ගැටලුවටද ඔවුන් මුහුණ දී සිටී. දුෂ්කරතා මැද මසුන් අල්ලා ගෙන ආවත් ජනතාව ඒවා මිලදී ගන්නට අකැමති තත්වය ඇති කළේත් පාලකයන් විසින් බව පැහැදිලියි. ඒ අතර ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ධීවර කටයුතුවලට ඇතිව තිබෙන පිරිවැය ගැටලුව නිසාත් ධීවරයන් පාලකයන් කෙරෙහි කෝපයෙන් පසුවේ. මෝදර, ලූනුපොකුණ ධිවර ජනතාව මෙම විරෝධතාව සංවිධානය කළේ තම පීඩාවට විසඳුම් ඉල්ලා පාලකයන්ගෙන් කිසිදු සහනයක් නොලැබුණු පසුව බව පැවසූ පෙ.ස.ප. ප්‍රචාරක ලේකම්වරයා, තම පක්ෂයේ ක්‍රියාකාරින් ඊට සහයෝගය පළ කරමින් සහභාගි වීමේදී අත්අඩංගුවට ගැනීමේ උථ්සාහයක් දරන ලද බවද පැවසීය. කෙසේ වෙතත්, ධීවර ජනතාව මැදිහත්ව පෙ.ස.ප. ක්‍රියාකාරින් කිසිදු හේතුවක් නැතිව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම නිසා පොලිසිය පසු බැස ගිය බව ඔහු අනාවරණය කළේය.

‘ආණ්ඩුවට වරින්වර හැදෙන අසනීපයක්’ ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය විරෝධතාවන්හි යෙදෙන විට පොලිස් බලහත්කාරය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ඉතිහාසයක් ඇති බව පවසන දුමින්ද නාගමුව, 2020 ජූනි මාසයේදී අමෙරිකානු පොලිසිය විසින් සිදු කළ ඝාතනයක් සම්බන්ධ සාමකාමීව හා සෞඛ්‍ය පිළිවෙත් යටතේ පෙ.ස.ප. ක්‍රියාකාරින් දැක්වූ විරෝධතාවයේදීද පොලිසිය මැදිහත් කරමින් නිරෝධායන නීති උළ්ලංඝනය කළ බව සිහිපත් කළේය. ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන සෑම අවස්ථාවකම ඔවුන්ගේ සහාය පිණිස මෙන්ම ඔවුන් ජයග්‍රහණය කරා ගෙන යාමේ නායකත්වය දෙමින් මැදිහත්වීම පෙ.ස.ප සිදුකරන බවද ආණ්ඩුවේ ප්‍රහාර, අත්අඩංගුවට ගැනීම් හරහා ඒ අරගල පරාජය කරන්නට නොහැකි බවද පවසන ලදී,

ජනතාව විරෝධය දක්වමින් පාලකයන්ගේ අක්‍රියභාවය සම්බන්ධ ප්‍රශ්න කරන විට ඔවුන් සංවිධානාත්මකව දේශපාලන බලයක් බවට පත් කරමින් ඔවුන්ගේ ගැටලු විසඳන දේශපාලන පරිවර්තනයක් සඳහා යොමු කිරීම පෙ.ස.ප. විසින් ඉදිරියටත් සිදුකරන බවද පාලකයන්ගේ මර්දනය නිසා ජනතාවගේ අරගල හෝ පෙ.ස.ප. ක්‍රියාමාර්ග පරාජය කිරීමට ඉඩක් නොමැති බවද දුමින්ද නාගමුව අවධාරනය කළේය.