Posted on 07.13.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද (13) තායිලන්ත අගමැති ප්‍රයුත් චන් ඔ චා සහ ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ දී ද්විපාර්ශ්වික ආර්තික සබදතා සම්බන්ධ ගිවිසුම් කිහිපයක් අත්සන් කරණ ලදී
තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමටත්, ද්විපාර්ශවික සහයෝගයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරලීම සඳහා එක්ව කටයුතු කිරීමටත් තායිලන්තය සහ ශ්‍රී ලංකාව එකඟත්වයකට පැමිණ තිබේ. බෞද්ධ සංචාරකයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබේ. ඉන්දීය සාගර කලාපයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ඉලක්ක සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ මේ සාකච්ඡාවේ දී දෙරට අතර ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා ඉදිරියට වඩ වඩාත් වර්ධනය කරලීමේ අවකාශයන් පිළිබඳව ද අගමැතිවරු අදහස් හුවමාරු කර ගත්හ.
තායිලන්ත අගමැතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වූ අතර එම සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 04කට ද අත්සන් තැබිණි.
මේ වනවිට ලංකාව චීනය හා ඉන්දියාව සමග මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති සදහා ගිවිසුම්ගතව ඇති අතර කලාපීය සෙසු රටවල් සමගද එකී ගිවිසුම්වලට බාධාවක් නොවන ආකාරයේ ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එළඹෙමින් තිබේ. මෙහිදී සිංගප්පූරුව සමග අත්සන් කළ ගිවිසුම වඩාත් අවධානයට ලක්වන අතර එහි කොන්දේසි අනුව ඔ්නෑම රටකට සිංගප්පූරුව හරහා ලංකාවේ ආයෝජනය කරමින් හැකි තාක් ප‍්‍රතිලාභ අත්කරගත හැකිය. මෙම කලාපීය රටවල ද්විපාර්ශ්වික සබදතා අවසානයේ ලංකාවට සිදුවන වාසි හා අවාසි පිළිබද සංගප්පූරු ගිවිසුම හරහා ගණන් බැලිය හැකිය. විශේෂයෙන් ලංකාවේ පවතින තීරු බදු ගනනාවක් ඉවත් කරන්නට සිංගප්පූරුව හා ඇති කරගත් ගිවිසුම මගින් එරටට ඩොලර් කෝටි ගණනක වාසි හිමිවන බව ප‍්‍රකාශයට පත්ව තිබේ.