2016 වසරට සාපේක්ෂව 2017 වසරේ දේශීය වී නිෂ්පාදනය 46%කින් අඩුවී සහල් ආනයනය කරන ප්රමාණය 2493% වැනි විශාලා ප්රමාණයකින් වර්ධනය වී ඇති බව ජන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව 2016 වසරේ මෙට්රික් ටොන් 4,420,000ක් ව පැවතී වී නිෂ්පාදිතය 2017 වසරේ 2,383,000ක් දක්වා මෙට්රික් ටොන් 2,037,000කින් පමණ පහත වැටී ඇති බවත්, මෙලෙස දේශීය වී ගොවිතැන කඩා වැටීමට සමගාමීව 2016 වසරේ මෙට්රික් ටොන් 30,000ක්ව පැවති සහල් ආනයනය 2017 වසරේ 748,000ක් දක්වා මෙට්රික් ටොන් 718,000කින් වර්ධනය වී ඇති බවත් එම දත්ත වාර්තා පෙන්වා දී ඇත.
2016 වසරේ හෙක්ටයාර් 1,114,000ක භූමි ප්රමාණයක වී වගා කර හෙක්ටයාර් 1,011,000 භූමි ප්රමාණයක් වී අස්වැන්න නෙළා ගෙන තිබුනද 2017 වසරේ හෙක්ටයාර් 792,000ක වී වගා කර අස්වැන්න නෙළා ගැනීමට හැකිව තිබෙන්නේ හෙක්ටයාර් 555,000ක පමණි. පාරිසරික බලපෑම් හේතුවෙන් මෙන්ම සැලකිය යුතු මට්ටමකින් වී ගොවිතැනින් ගොවීන් ඉවත්ව තිබෙන බව මෙම දත්ත වාර්තා අනුව පැහැදිළිව දැකගත හැක.
සහල් මෝල් හිමිකරුවන් සතු දැඩි කේවල් කිරීමේ බලය හේතුවෙන් වී නිෂ්පාදකයාට ප්රමාණවත් අවම මිලක් හෝ ලබා ගැනීමට නොහැකි වීම මෙන්ම පසුගිය වකවානුව තුළ පොහොර සහනාධාර කපාහැරීම් හේතුවෙන් ද මෙලෙස විශාල වශයෙන් ගොවීන් සිය ගොවිතැන් කටයුතු වලින් ඉවත්වෙමින් සිටින අතර පාරම්පරික ගොවිතැන පවා මුළුමනින්ම බහුජාතික සමාගම් වලට නතු කරලීමේ ප්රතිපත්තියද මෙම ගැටළුවට හේතුවී තිබෙන බව නොරහසකි.
ආණ්ඩුව විසින් ජාතික නිෂ්පාදන ආර්ථිකය මුළුමනින්ම විනාශ කරමින් අතිශය අවාසි සහගත වෙළඳ ගිවිසුම් වලට ද එළඹෙමින් අධිරාජ්ය ගැති වහල් ආර්ථිකයකට පාර කපමින් සිටින අතර, අවසානයේ එහි සම්පූර්ණ බාරද සාමාන්ය ජනතාව මත පටවමින් සිටින බව මෙවැනි දත්ත වාර්තා වඩාත් පැහැදිලි කරමින් ඇත.