පසුගිය දිනවල මහනුවර තෙල්දෙනිය ආශ්‍රිතව ඇතිව තිබෙන නොසන්සුන් තත්වය හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව වගකීම් සහගතව මැදිහත් වෙමින් ජාතිවාදී ගිනිදැල් නිවා දැමීම සමාජ යහපත හා ප්‍රගතිය උදෙසා වැඩකරන සෑම සමාජ ව්‍යාපාරයක හා සෑම ලාංකිකයකුගේම වගකීමක් බව ප්‍රකාශ කරමින් සම අයිතිය ව්‍යාපාරය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
‘ජාතිවාදී ගිනි නිවීමට මැදිහත් වෙමු!‘ යන තේමාවෙන් සම අයිතිය ව්‍යාපාරයේ කැදවුම්කරු රවින්ද්‍ර මුදලිගේ අත්සන් කර ඇති එම සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.
“තෙල්දනියට ගිනි ඇවිලී තිබේ. ඒ පසුගිය දිනවල අම්පාරේ ඇතිවූ සහ බණ්ඩාරවෙල ඇතිවීමට ගිය සිදුවීම් වල උණුසුම නිවී යාමටත් පෙරය. ඊට පෙර ගිංතොටටද ඊටත් පෙර අළුත්ගමටද ජාතිවාදයේ ගිනිදැල් පැන නැගුණි. මෙම ගැටුමේ ආසන්න සිදුවීම ලෙස වාර්තා වනුයේ පිරවුම්හලක් අසලදී සිදුවූ මතභේදයකදී සිදුකළ පහරදීමකින් එක් අයෙකු මිය යාමයි. මියගිය තරුණයා සිංහලයකු වීමත් පහර දුන් පිරිස මුස්ලිම් අය වීමත් සමඟ ප‍්‍රශ්ණය දිග හැරී ගියේ ජාතිවාදී ගිනිජාලාවක් ලෙසිනි.
ජාතිවාදී ගිනිපුපුරු මෑත දශක ගණනාවක් පුරා වරින් වර මතුවීම හුදු අහම්බයන්ම නොවේ. එය පරම්පරා ගණනාවකට වුව වෛරයේ ගිනිසිළු රැගෙන යන සහ ඉන් නැවත නැවත ඛෙදවාචක නිර්මානය කෙරෙන තත්ත්වයක ප්‍රකාශනයන්ය. මෙම තත්වය ගිනි කන්දක මුවවිට මෙන් පවතින අතර ඉතා සුළු සිදුවීමකදී වුව ගිනි කන්ද විනාශකාරී ලෙස පුපුරා යයි. මේ තත්වයද ඉබේ ඇති වුවක් නොවේ.
ඒ සඳහා ජනතාව අතර නිරන්තරයෙන් නිර්මානය කෙරෙන විවිධ බෙදුම් රේඛා, දුෂමාන ප‍්‍රවෘත්ති මවන යන්ත‍්‍රයන්, සිය බල අරමුණු වෙනුවෙන් සමාජ යහපැවැත්ම පරදු තබන දේශපාලඥයන් ආදී සියල්ලන් අඩුවැඩි වශයෙන් දායක වී ඇත. මෙම දෘෂ්ටිමය යුද්ධයට හොඳම නිදසුනක් වන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන් විසින් දෙනු ලබනවා යැයි කියන වඳපෙති පිලිබඳ ප්‍රචාරයයි. ඒ පිළිබඳ කිසිදු විද්‍යාත්මක හෝ තාර්කික සාක්ෂියක් නොමැති වුවද ඒවාට ලබාදී ඇත්තේ සුවිශේෂී වටිනාකමකි. ලාංකීය සමාජය වෙලාගෙන ඇති පසුගාමිත්වයේ ගැඹුර කොතරම්ද යන්න පැහැදිලි කරන සජීවී උදාහරණ ලෙස ඒවා පවතී.
මෙම දුෂමාන ආරංචි, විශේෂයෙන් ලිංගිකත්වය, පුද්ගලික තොරතුරු, අන්‍ය ජාතීකත්වයන් විසින් සිදුකරනවා යැයි කියන විවිධ ප්‍රචණ්ඩ කි‍්‍රයා හුවා දැක්වීම් වැනිදේ ප‍්‍රචාරයේදී ඒවාට ඇත්තේ පුදුමාකාර සන්නිවේදන ශක්‍යතාවයකි. ඒවා විවිිධ මාධ්‍ය විසින් ගෙන් ගෙට, කටින් කට ඉතා සුඵ වේලාවකදී පැතිර යන අතර පසුව ඒවා නිවැරදි නොවන බැව් කොතරම් තහවුරු වුවද ඒවා යලි කිසිදින නිවැරදි නොවේ.
මෙමගින් සිදුවන බරපතලම හානිය වනුයේ ලාංකීය සමාජයේ එදිනෙදා ජීවිතයේ සිදුවන ඕනෑම සුළු ගැටුමක් පවා ජාතිවාදී – ආගම්වාදී අන්තයකට ඇදී යා හැකි අවදානමය. අප දැන් සමාජයක් ලෙස අත්විඳින්නේ එයයි. පුද්ගලයෙකු පහරදී මරා දැමීම බරපතල සිදුවීමක් වන්නාසේම ඉන් ජාතිවාදී ගැටුම් මාලාවකට මුලපිරීම ඊටද වඩා කාලකන්නිභාවයකට ලාංකිය සමාජය ඇදවැටී ඇති බවට සංඥාවකි.
මිනිස් සමාජයකට කිසිදු ලෙසකින් නොගැලපෙන සහ නොඉවසිය හැකි සිදුවීම් දිනපතාම පාහේ වාර්තාවේ. හලාවත හේනවිල නොදරුවකු අපයෝජනය කර මරාදැමීමේ සිදුවීම වාර්තා වී දින කීපයකි. අහම්බයකට හෝ එකී පුද්ගලයා තමිල් හෝ මුස්ලිම් අයකු වී නම් එහි උද්ගත විය හැක්කේ කෙබඳු තත්ත්වයක්ද? අප මත දිනපතා පැටවෙන කප්පරක් ගැටළු, අවිනිශ්චිත බව, පීඩාව, ජීවන බර ආදී මේ සියල්ලක් විසින් වටකොට ඇති තත්වයක් තුළ දැන් දැන් එහි වගඋත්තරකරුවා ලෙස මවා දෙන්නේ මුස්ලිම් ජනයාය. ඔවුන්ගේ වෙළඳපල හා ආගමික හැසිරීමය. නැතිනම් ඔවුන්ගේ සංස්කෘතියය. ඊට පෙර එම භුමිකාවේ සිටියේ තමිල් ජනයාය, නැතිනම් කොටින්ය. එකළ ලාංකිය සමාජයේ සියළු රෝග වලට හේතුකාරක වූයේ කොටින්ය. නන්දිකඩාල් කලපුවේ ඔවුන් සමූල ඝාතනය කිරීමත් සමඟ පොදු සතුරා ලෙස අර්ථදක්වන්නේ මුස්ලිම් ජනයාය. මෙම ව්‍යසනය තව දුරටත් පැවතීම යනු නැවත නැවතත් යුද්ධ වල සිරවී මහා ලේ ගංගා මතින් ලාංකික සමාජයට පියමං කිරීමට සිදුවීමය.
ගිංතොට ඇවිල යාමෙන් අන්තිමේදී සිංහල ජනයාගේ, මුස්ලිම් ජනයාගේ දේපල , නිවාස ගිනි බත්ව ජීවිතද වැනසුනි. අම්පාරේද එයම සිදුවිය. දැන් තෙල්දෙනිය ගිනි ඇවිලී ජීවිතද දේපලද වැනසේ, දරුවන්ට පාසල් වැසේ. වසර 30ක් පුරා අප මේ පීඩාව උතුරේද දකුණේද ඕනෑවටත් වඩා වැඩියෙන් විඳ තිබේ. මෙසේ අප, අපව හැමදාම පෙලන, අපව හප කරන, භේද භින්න කරන සැබෑ සතුරන් අමතක කර අපේම සොහොයුරන්, එකම ඉරණමක්-එකම පීඩාවක් බෙදා හදා ගන්නා මිතුරන් සතුරන් ලෙස අර්ථදක්වා ගනිමු. අපි අපම ගිනිබත් කර ගනීමු, මරා ගනිමු. මෙහි කෙලවර කොතනකද?
මහා විපතකට අපේ සමාජය ඇද වැටීම වැලැක්වීම සඳහා අප මේ මරා ගැනීමට, වෙන්වීමට, ගිනිතැබීමට එරෙහිව සිටගත යුතුය. සිංහල වේවා, තමිල්, මුස්ලිම් වේවා ඕනෑම ජන කොටසකගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටිනවා මෙන්ම ඔවුන්ගේ අගතීන්ට එරෙහිව නැගි සිටිය යුතුය. ජාතිවාදී අගතින් වෙනුවට සමානාත්මතාවයත්,වෛරය වෙනුවට සහෝදරත්වයත් උරුමය කොටගෙන අප අත්විඳින සැබෑ පීඩාවන්ට එරෙහි අරගලයත් වෙත පෙළගැසෙන ලෙසද ඒ වෙනුවෙන් පෙරමුණ ගන්නා ලෙසද මෙම දුෂ්කර අවස්ථාවේදී අපි සමස්ත ලාංකේය ප්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
රවීන්ද්‍ර මුදලිගේ
කැඳවුම්කරු
සම අයිතිය ව්‍යාපාරය
2018 මාර්තු 05”