වැලිකඩ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් !

රාජපක්ෂ පාලන සමයේ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍ර‍ධාන සාක්ෂිකරු වන සුදේෂ් නන්දිමාල් ද සිල්වාගේ නිවසට ඊයේ රාත්‍රී වෙඩි ප්‍ර‍හාරයක් එල්ල වී ඇත.

මොරටුව, පුරන්අප්පු රජ මාවතේ පිහිටි තම නිවසේ සුදේෂ් නන්දිමාල් ද සිල්වා නින්දේ පසුවන අතර රාත්‍රි 11.00ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත. නිවසේ ගේට්ටුවේ වෙඩි පහර සලකුණු දැකිය හැකි අතර, වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂකරුට ජීවිත ආරක්ෂාව සලසන ලෙසත්, වැලිකඩ ඝාතනයට සැක කෙරෙන දැනට සේවයේ නිරත පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය රජයට බලකර සිටී. වැලිකඩ ඝාතන සිදුවීමට අදාළ කොමිෂන් වාර්තාව නිකුත්ව වත්මන් රජය විසින් වසර දෙකකට වැඩි කලක් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. ඒ අනුව වැලිකඩ අපරාධය වසන් කිරීම සදහා පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද සියලු උත්සහ දරන බවට සාධාරණ සැකයක් මතු වේ..

වෙඩි තැබීමට ආසන්න සිදුවීම ලෙස ඊයේ දිනයේ පොලිස් ‘වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ඒකකය‘ඊයේ නන්දිමාල් ගේ සාක්ෂි සටහන් කර තිබුණි. එහි සාක්ෂි දී පැමිණි නන්දලාල් නිවසේ නිදා ගෙන සිටිය දී මෙම වෙඩි තැබීම සිදුව ඇත. වැලිකඩ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් නන්දිමාල් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ‘රිට් පෙත්සම‘ සැප්තැම්බර් 12 වැනි දින විභාගයට ගැනීමට නියමිතය.

2012 නොවැම්බර් මස 11 දින නම් ලැයිස්තුවක් රැගෙන වැලිකඩ බන්ධනාගාරයට පැමිණි ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් තෝරාගත් සිරකරුවන් පිරිසක් දණ ගස්වා හිසට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. මෙම සිද්ධිය ඇසින් දුටු පිරිස් ඒ බව සිය නීතිඥයන්ට හා ඥාතීන්ට දැනුම් දී ඇත. නන්දිමාල් එම සිදුවීමේ ප්‍ර‍ධාන සාක්ෂිකරු වේ. සිවිල් සංවිධාන හා ජනමාධ්‍ය මේ පිළිබද තොරුතුරු දිගින් දිගටම අනාවරණය කරනු ලැබීය. නන්දිමාල් ද සිල්වා විසින් පුවත්පත් සාකච්ඡා, උද්ඝෝෂණ සංවිධානය කරමින් ද, ආරක්ෂක අංශ වෙත සාක්ෂි දෙමින් ද, මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් නම් ගම් සහිතව හෙළිදරව්වක් සිදු කර ඇත. 2016 පෙබරවාරි 10 වැනිදා රාත්‍රි සාක්ෂිකරු නන්දිමාල් වෙත පැමිණි පිරිසක් සිරකරු ඝාතනය සම්බන්ධ නීතිය ඉදිරියට යාම නවතා නොදැමුවහොත් අඩි 6ක් යට යන්නට සිදුවන බවට මරන තර්ජනයක්ද සිදුකර තිබිණි. මෙම පසුබිම තුළ ඔහුගේ ජිවිතයට අනතුරක් කිරීමේ උත්සාහයක් ඇති බව සනාථවන නිසා වැලිකඩ ඝාතනයේ නියෝග නිකුත් කළ සහ ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් වෙත අවධානය යොමු වේ.

Chandana Sirimalwatte :