රතුපස්වල ඝාතනයේ ගිනි අවි අතුරුදන්, ඝාතනය හා පහරදීම්වල සැකකරුවන් සියලුදෙනාට ඇප !

රතුපස්වල විරෝධතාවයට එක්වූ ජනයාට වෙඩිතබා තිදෙනකු ඝාතනය කළ සිදුවීම සම්බන්ධව පරික්ෂණවලට සිදුවන්නේ කුමක්දැයි බොහෝදෙනා විමසිලිමත්වන බවක් පෙනේ.

2013 අගෝස්තු 1 වැනිදා සිදුවූ මෙම වෙඩිතැබීමට අදාළව විමර්ශනයකදී අනාවරණය වූයේ යුද හමුදාව එදින ගිනි අවි 150ක් පමණ ගෙනැවිත් තිබුනු බවයි. 2016 දෙසැම්බර් 15 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණයට භාර දී තිබුනේ ටී 56 වර්ගයේ අවි 40ක් පමණකි. එම අවි පිළිබද රස පරික්ෂක වාර්තා ලැබෙන්නේ මාස 9කට පසුවය. එහිදී අනාවරණය වී ඇත්තේද එම අවි කිසිදු වෙඩිතැබීමකට භාවිත කර නැති බවයි.

තිදෙනකු ඝාතනය කළ මෙම වෙඩිතැබීම සිදු වූයේ වැලිවේරිය නගර මධ්‍යයේය. විරෝධතාකරුවන් පළායන විට වෙඩි තැබූ බවටද සාක්ෂ්‍ය තිබේ. මිය ගිය පුද්ගලයන්ට වෙඩි තබා තිබුනේ ඔවුන් ආරක්ෂා වීමට පළා යන අවස්ථාවේදීය. මෙවැනි සාපරාධී වෙඩි තැබීමෙන් පසු මිනිස් ඝාතනයක් සිදුව තිබියදීත් එදිනම යුද හමුදාව හා පොලිසිය එක්ව එකී අපරාධ ස්ථානවල තිබුනු ලේ පැල්ලම් සෝදා හැරි බවට ප්‍රදේශවාසීහු පවසති. එහි විසිර තිබුණු ගිනිඅවිවලින් නිකුත් වූ පතරොම් කොපු ආදියද එසේ ‘පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකින්‘  ඉවත් කරන ලදී.වෙඩිතැබූ ස්ථාන අනුව වැලිවේරිය පොලිස් ස්ථානය ඇත්තේ පෙනෙන මානයේය.  ඒ අනුව එම ක්‍රියාව සම්බන්ධයෙන් වගකිව යුත්තේ නුදුරේම තිබෙන වැලිවේරිය පොලිසියයි.

හේලිස් වෙනිග්‍රෝස් සමාගම විසින් සිය ජල මූලාශ්‍ර දූෂනය කිරිමෙන් පසුව පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ජනතාව  සිදු කළ උද්ඝෝෂණයේ දී සිදුකළ මිනිස් ඝාතන හා පහරදීම්වලට චෝදනා ලැබූ සියලු සැකකරුවන්ට අදවනවිට ඇප නියම වී තිබේ. පසුගිය මැයි 25 අත්අඩංගුවට ගත් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනට සහ සැරයන්වරයකුට අගෝස්තු 31 වැනිදා ඇප ලබා දෙන ලදී. එසේම වෙඩි තබා පහරදිම් සිදුකළැයි චෝදනා ලැබ සිටින යුද හමුදා මාණ්ඩලික සැරයන් හා කෝප්‍රල්වරයාට අද (22) ඇප නියම කෙරිණි.

වෙඩි තැබීමෙන් පසුව වැලිවේරිය පොලිස් ස්ථානයට රැකවල් යොදයි – Getty Images

Chandana Sirimalwatte :