தமிழ்
English
Contact
Saturday 17th February 2018    
අපට සටන් කිරීමට සහ වෙනස් කිරීමට බොහෝ දේ ඇත - ඇන්ජලීනා ජොලී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපට සටන් කිරීමට සහ වෙනස් කිරීමට බොහෝ දේ ඇත – ඇන්ජලීනා ජොලී



අමෙරිකානු සිනමා කර්මාන්ත කලාපයක් ලෙස සුප්‍රකට හොලිවුඩයේ කලා සගරාවක් වන ‘ද හොලිවුඞ් රිපෝටර්’ කලා ක්ෂේත‍්‍රයේ සිටින කාන්තාවන් වෙනුවෙන්  වාර්ෂිකව පවත්වන සිය උදෑසන භෝජන සංග‍්‍රහය අවස්ථාවේ කතාවක් පැවැත්වීමට ඇන්ජලීනා ජොලීට ආරාධනා ලැබිණි. එම අවස්ථාවේ රැස්ව සිටි පිරිස කම්පනයට පත්කරමින් ඉදිරිපත් කළ කතාව තුළ ලොවපුරා මූලික අයිතිවාසිකම් සහ නිදහස අහිමිව සිටින කාන්තාවන් වෙනුවෙන් හඩ නැගීමට ඇය සමත් වූවාය. එසේම කලාකාරිනියක වීමේ වැදගත්කම සහ කාන්තාවන් පීඩිතභාවයෙන් ගලවා ගැනීමට එම තත්වය යොදාගත හැකි ආකාරය ගැනද ඇය ඒහිදී  අදහස් දැක්වූවාය.

‘‘මේ ශාලාවේ රැස්ව සිටින අපට, ෙලාව පුරා පීඩාවට පත්ව සිටින කාන්තාවන්ට උදව් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ කාන්තාවන්ගේ හඩ ලොවට ඇසෙන බව සහතික කිරීමට කලාකරුවන් වන අපට පුළුවනි’’ යැයි ද ජොලී කීවාය. ‘‘ඔවුන්ට අප සහයෝගීතාව දැක්විය යුතුවාක් ෙමන්ම ඔවුන්ගේ හඩ නගන්න ඒ් අයගේ කතාව පැවැසීමට ඉඩ ලබාදීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි’’.

තම හඩ සහ මතවාදය ලොවට හඩගා කීමට නොහැකි කාන්තාවන් ලොවපුරා සිටින බව සහ සීමා කිරීම් හෝ දඩුවමට ඇති බිය නිසා තම නිර්මාණශීලී හැකියාව ඉදිරිපත් කිරීමට නොහැකි වන අය කෙතරම් සිටීදැයි ඇය ඇසුවාය. අද වනවිට බටහිර සමාජයේ කාන්තාවන්ට  හිමි වී තිබෙන සාෙප්ක්ෂ නිදහස වෙනුවට සත්‍ය නිදහස උදාකිරීම වෙනුවෙන් සටන් කරන ‘කාන්තාවන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදීන්, මානව හිමිකම් ක‍්‍රියාකාරීන් අැතුළු සමාජ ක්‍රියාකාරීන්’ අගය කරමින් ඇය කතාව අවසන් කළාය.

ඇයගේ සම්පූර්ණ කතාව පහත දැක්වේ:

“දැන් මෙහි රැස්ව සිටින බොහෝ දෙනා අද උදය වරුවේ නිවසේ දී උදෑසන ආහාරය පිළියෙළ කිරීමට හෝ ඇහුම්කන් දෙමින් අවසාන මොහොතේ නිවසේ වැඩ කටයුතු කරමින් හෝ දත් මැදීමේ වැදගත්කම ගැන කරුණු ඉදිරිපත් කිරීමට හෝ යොදවන්නට ඇතැයි කියා මම විශ්වාස කරනවා. මෙම අවස්ථාවට සහභාගි වන්නට යාමට සූදානම් විය යුතු යැයි ඔබ පැවසූ විට ‘ඇයි ඉතින් ඔයා දැන්ම යන්නේ නැත්තේ’ කියලා ඒවුන් කියන්නත් අැති. ඊළගට ‘ඔබට හරිම වෙහෙස පාටයි’ කියලා ඔවුන් පවසන විට ඒක හරි යැයි ඔබටත් හිතෙන්න පුළුවනි.

ඒත් කාන්තාවකට ජීවිතය එහෙම තමයි. තමන්ට කලින් අනිත් අය ගැන සිතීම තමයි අපගේ ස්වභාවය. අද උදෑසන මගේ දරුවන් මගෙන් විමසන විට මම ඔවුන්ට කියා දුන්නා මම මෙතැනට පැමිණිය යුතු වන්නේ ඇයි කියා. අනිත් කාන්තාවන් සමග ඉදිමින් මේ කාන්තාවන් සහ කලාවේ නිරත කාන්තාවන් ගැන කතා කළ යුත්තේ ඇයි කියා. මෙහි සිටින අප හැමදෙනා වෙනස් පුද්ගලයන්, ඒත් අප සැමට පොදු එක් රැඩිකල් ලක්ෂණයක් පවතිනවා. අපට කලාකාරිනියන් වීමට නිදහස තිබෙනවා. නිර්මාණ කිරීමේ නිදහස, නොබියව බලධාරීන්ට අභියෝග කිරීමේ අයිතිය, බලය ඇති තැන් උපහාසයට ලක් කොට සිනාසීම සහ අන් අය අප සමග සිනාසීමට එක්කර ගැනීමටත් අපට අවස්ථාව තිබෙනවා. එය අප දකින පරිදි සත්‍යය කතා කිරීමට ඇති අයිතියයි. අප ජීවත් වන සමාජයේ අපගේ ජීවිතවලට සමීප කාන්තාවන්ට පවුලේ කටයුතුවලට මුල්තැන දියයුතු නිසා නිර්මාණාත්මක කටයුතුවල නිරත වීම සීමා වී පවතින බව අප දැක තිබෙනවා. ඒ අය ගෙදර දොරේ වැඩ කටයුතුවලදී සහ උපන්දින සාදවලදී ඒ නිර්මාණශීලීත්වය ඉදිරිපත් කරනවා. මට සිහිපත් වෙනවා මගේම අම්මා ගැන.

එසේම අපගේ කර්මාන්තයේ විවිධත්වය සහ සමානාත්මතාව අවම බව අප දන්නා කරුණක්. ඒ නිසා අප, සටන් කර වෙනස් කළයුතු බොහෝ දේ තිබෙනවා. එහෙත් ලොව වාසය කරන මිලියන ගණන් අනිකුත් කාන්තාවන් පිරිසකට අප විදින ආකාරයේ නිදහසක් හිමි වන්නේ නැහැ. යුද ගැටුම් සහ ත‍්‍රස්තවාදය සහ අවතැන් වීම සහ දුප්පත්කම සමග ජීවත් වන කාන්තාවන්ට එවැනි අවස්ථාවක් ගැන සිතාගන්නටවත් බැහැ. ඒ අයගේ හඩවල් නිසැකවම යටපත් කරනු ලබනවා. අප මේවා නොදැක්කා සේ සිටිය යුතු නැහැ. අප හදන චිත‍්‍රපට නිසා හෝ දේශපාලනය ගැන සිදුකරන විවේචන නිසා හෝ වේදිකාවේ සිදුකරන උපහාසාත්මක කතා නිසා සිරගත කර, වදහිංසා සිදුකිරීම් සහ දඩුවම් ලබාදීම්වලට අප ලක්වන්නේ නැහැ. අපට රැගුම් පාලනය සමග ජීවත් වීමට සිදුවන්නේ නැහැ. නාට්‍යයක රගපෑම හෝ රූපවාහිනියේ ගීතයක් ගැයීම හෝ ප‍්‍රචණ්ඩත්වයට ලක්වීමට හෝ පවුල වෙත අවනම්බුවක් ඇති කිරීමට හෝ හේතු වන්නේ නැහැ. අපගේ ඇදුම් හෝ අදහස් ආගමික බලධාරීන්ගේ හෝ ප‍්‍රචණ්ඩකාරී අන්තවාදී කණ්ඩායම්වලට අවශ්‍ය ලෙසට වෙනස් කිරීමට අපට අවශය වන්නේ නැහැ. සමාජයේ වැරැදි යැයි අපට පෙනෙන දෙයක් ගැන අපගේ මනසේ ඇති අදහස් ප‍්‍රකාශ කිරීමට ඉඩ ලැබෙන නිසා කාන්තාවන් වශයෙන් දුරාචාරයේ යෙදෙනවා කියා හෝ කොන් වී සිටීමට අපට සිදු වන්නේ නැහැ.

අපට නිදහසේ සිතීමට සහ නිදහසේ කතා කිරීමට සහ සමානාත්මතා පදනමින් අපගේ අදහස් ප‍්‍රකාශ කිරීමට ඉඩ ලැබී තිබෙනවා. එහෙත් හුදෙක්ම හඩක් නැගූ පමණින්ම, අදහසක් ප‍්‍රකාශ කළ පමණින්ම ලොවපුරා සිටින කාන්තාවන් විශාල සංඛ්‍යාවක් බරපතල අනතුරුවලට ලක් වන හෝ හිංසාවට ලක් වන අවස්ථා බහුලව පවතිනවා. මේ තත්ත්වය තවමත් පවතින නිසා අපගේ දියුණුවක් සිදුවී ඇතැයි සතුටු විය නොහැකියි. එහෙත් එහි අදහස කලාකාරිණියන් වශයෙන් අප ලොව ඉතාම වැදගත් මේ කරුණු වෙනුවෙන් පෙනීසිටීමයි. කලා සහ සංස්කෘතික කටයුතු සදහා සහභාගී වීම සමාජයේ කිහිපදෙනකුට පමණක් සීමා වූ අති සුඛෝපභෝගී කටයුත්තක් නොවේ. එය එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප‍්‍රකාශයේ ද කෙටුම්පත් කර ඇති මූලික මිනිස් අයිතිවාසිකමකි. සෑම කාන්තාවකටම දේශපාලන වශයෙන් මෙන්ම අදහස් ප‍්‍රකාශ කිරීම ද ඇතුළත්ව, තම ජීවිතය නිවහල්ව සහ සුරක්ෂිත ලෙස ජීවත් වීමට අයිතියක් මෙන්ම පරිපූර්ණ ලෙස ගත කිරීමට සහ පරිපූර්ණ ලෙස අදහස් ප‍්‍රකාශ කිරීමට අයිතියක් ඇත. එහෙත් ඒ අයිතිය ඉතා බලවත් නිසා නිරන්තරයෙන්ම කාන්තාවන්ට එය අහිමි වේ.

කලාවෙන් බලපෑමක් සිදුකළ හැකි අතර එයින් පරිකල්පනය අවදි වෙනවා. එය ගතානුගතික මතවාදයන්ට සහ කාන්තාවන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සීමා කර ඇති සමාජවලට අභියෝගයන් සිදු කරනවා. එවැනි සමාජ පරිණාමනය වන්නේ කාන්තාවන්ගේ හඩ, බලපෑම සහ බුද්ධි මහිමය නොමැතිවයි. මා මේ ප‍්‍රජාවේ සහ ලෝකයේ කලාකරුවන්ගේ පුළුල් සමාජයේ කොටස්කාරියක වීම ගැන සතුටු වන්නේ ඒ නිසායි. අද දවස ඔබ සමග ගත කිරීමට ලැබීම ගැන මට හරිම සතුටුයි, එසේම අපි එක්වී අපගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමෙන් ඔබ්බට ගොස් සමස්ත කාන්තාවන්ගේම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිමු. මේ ශාලාව ඇතුළේ සිටින අපට මේ කාන්තාවන්ට උදව් කළ හැකියි. මේ කාන්තාවන්ගේ හඩ ඇසෙන්නට සැලැස්වීමට කලාකරුවන් වන අප සටන් කරමු. ඔවුන්ට සහයෝගීතාවය පළ කරමු. ඔවුන් වෙනුවෙන් ප‍්‍රචාරණයේ යෙදෙමු. ඔවුන්ගේ කතා කීමට අපගේ උදව් ලබාදෙමු. මෙම කාර්යය සදහා මෙහි සිටින වැඩිදෙනා, ඇත්තෙන්ම සියලූමදෙනා සමග අත්වැල් බැදගෙන ඉදිරියේදී කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

මම පැමිණි සහ අසා සිටි ඔබට ස්තුති පුදනවා. අපට එකතු වී මෙසේ කතාබහ කිරීමට මෙම අවස්ථාව සංවිධානය කිරීම ගැන ‘හොලිවුඩ් රිපෝටර්’ සගරාව වෙත මාගේ ප‍්‍රණාමය පුදකරනවා. එසේම වසර ගණනාවක් එකට වැඩ කළ අපූරු කලාකාරිනියන් ගෙන් බොහෝ දේ ඉගෙන ගත් අතර ඒ අයටත් ස්තුතිය පුදන්න මට අවශ්‍යයි. එසේම අපගේ ජීවිතය අද සිටින ස්ථානයට ගෙන ඒමට තම ජීවිත කාලය මුළුල්ලේම කටයුතු කළ සියලූම කාන්තාවන්ට මම මගේ ප‍්‍රණාමය පුද කරනවා. තර්ජනයට යට නොවූ ලොවපුරා සිටින කාන්තාවන්, ජනමාධ්‍යවේදීන්, මානව හිමිකම් ක‍්‍රියාකාරීන්, සහ නීතිඥයන්ට මේ සියල්ලටම ඉහළින් මගේ ප‍්‍රණාමය පුද කරනවා. නිර්භීත මිනිසුන් සටන් කරන විට අද අප විදින නිදහස එක්තරා දිනයකදී ඔවුන්ටත් හිමිවේවි. ඒ නිසා මම ඔබ සමග සිටීමට හැකි වීම ගැන ඉමහත් සතුටට පත් වෙනවා.

ඔබ සැමට ස්තුතියි.

(The Hollywood Reporter)

පරිවර්තනය – බී.කරුණාරත්න