தமிழ்
English
Contact
Wednesday 24th January 2018    
පළාත්පාලන මැතිවරණයට ඇප මුදල් බැදීමට කෝටිපතියන් උවමනාකර තිබේ ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත්පාලන මැතිවරණයට ඇප මුදල් බැදීමට කෝටිපතියන් උවමනාකර තිබේ !



මෙවර පළාත්පාලන මැතිවරණය සදහා අපේක්ෂකයන්ට ඇප මුදල් තැන්පත්කිරීමට විශාල වියදමක් දරන්නට සිදුවන  නිසා එය කෝටිපතියන්ගේ මැතිවරණයක් වන්නට නියමිත බව දැනගන්නට ඇත.

කරන ලද ගණනය කිරීම් අනුව පළාත්පාලන මැතිවරණයේදී යම් දේශපාලන පක්ෂයකින් සියලුම පළාත්පාලන ආයතනවලට තරග කරන්නට කටයුතු කරන්නේ නම් රුපියල් එක්කෝටි හතළිස් හතර ලක්ෂයක් පමණ ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතුව තිබේ. මෙය ස්වාධීන කණ්ඩායමක් ලෙස රට පුරා තරග කරන්නේ නම් කෝටි 4ක් පමණ වේ. සාමාන්‍යයෙන් ස්වාධීන කණ්ඩායම් රට පුරා මැතිවරණයකට තරග නොකරන නමුත් මෙවර පළාත්පාලන මැතිවරණයට යොදාගන්නා ඇප මුදල් අය කිරීමේ තත්වය මැන ගැනීමට එය කදිම දර්ශකයකි. දේශපාලන පක්ෂ වුවද මුලු රටටම අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බවට කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් දේශපාලන පක්ෂයක් යනු දේශපාලන බලය හෙට්ටු කරන සංවිධානාත්මක ව්‍යුහයක් ලෙස කල්පනා කිරීමේදී රටපුරා මැතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කළ යුතුව ඇත. එවැනි දේශපාලන පක්ෂයක් කෝටිපතියන් සමග නොසිටින විට පලාත්පාලන මැතිවරණය සදහා අපේකෂකයන් ඉදිරිපත් කිරීමට නොහැකි විය හැකි බව මේ ඇප මුදල් සංඛ්‍යාත්මකව පෙන්වා දෙයි.

පවතින ධනපති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ පවා දේශපාලනය කිරීම යනු වයස අවුරුදු 18 සපිරි සියලු පුරවැසියන්ට හිමි මූලික අයිතියකි. මැතිවරණයකට තරග කිරීම එහි එක් වැදගත් අවස්ථාවකි. දේශපාලනය කිරීම හෝ මැතිවරණ සදහා තරග කිරීම එකිනෙකට සපුරා වෙනස් තත්වයන් බව ඇත්තකි. එහෙත් දේශපාලනය කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියනු ලබන ක්‍රමයේදී ඇත්තේ සැමට අයිතිවාසිකම් සමාන අවස්ථා සමාන තත්වයක් බව න්‍යායිකව පහදා දෙනු ලැබේ. එහෙත් ප්‍රායෝගික තලයේදී එය එසේම නොවන බව මෙයින් පෙනී යයි. නීතිය ඉදිරියේ සියල්ලන් සමාන බව කියනු ලබන්නේ න්‍යායික තලයේදීය. එහෙත් මෙරට කෝටි ගණනින් මහජන මුදල් වංචා කලවුන් බවට චෝදනා ලැබුවන් රිමාන්ඩ් බන්ධනාගාරයට ඇතුලු කළ විගස බන්ධනාගාර රෝහලට යොමු කරනු ලබන්නේ කිසිදු සැකයකින් තොරව එසේ විය යුතු බවට න්‍යායක් ගොඩ නගමිනි. කෙසෙල් කැනක් කපාගෙන ගිය, පොල් ගෙඩියක් සොරකම් කල බවට චෝදනා ලබන සාමාන්‍ය පන්තියේ අයකුට එවැනි වරප්‍රමාද හිමි නොවේ.

දේශපාලන වශයෙන් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් ලෙස නම්කරනු ලැබුවද අපේ රටේ ක්‍රියිත්මක වන්නේ බ්‍රිතාන්‍යයන් විසින් ඉතිරි කර ගිය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය බව කියනු ලැබේ. 1978දී ජර්මන් හා ප්‍රංශ ව්‍යවස්ථාවල ආභාශය ලබමින් ජේ. ආර්. ජයවර්ධන ඇති කළ විධායක බලය සහිත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට මානව හිමිකම් හා මූලික අයිතින් ඇතුලත් කරන ලදී. මෑතකදී දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබද නීති එක් කරනු ලැබුවේ ලංකාව අත්සන්කළ ජාත්‍යන්තර සම්මුති අනුව යමිනි. එහෙත් දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී බව කියන මේ ලාංකික දේශපාලන නිල බල ව්‍යුහයේ අවම මට්ටම ලෙස පලාතිපාලන මැතිවරණය දෙස අපට බැලිය හැක්කේ අවම ධනයක් වියදම් කරන අවම මැතිවරණ ප්‍රචාරයකින් මහජන නියෝජිතයන් පත්කරණ අවස්ථාවක් ලෙසය. ඓහත් එය ඇත්ත වශයෙන්ම අවම යන වචනයට අරැතක් නොදෙන අවස්ථාවකි. මෙවර ඇප මුදල් තැන්පත් කිරිමේ ගැටලුවෙන්ම එය පැහැදිලි වේ. උපරිම වියදම් කරන්නට නොහැකි නම් මහජන නියෝජිතයකු වන්නට කිසිවකුට නොහැකි බව දැන් සනාථ වේ. ඒ නිසාම දැන් දේශපාලනය කිරිමෙන් හැකිවන්නේ ධනවත් නියෝජිතයන් පත්කිරීමටය. ධනවත් නියෝජිතයන් ජනතා නියෝජිතයන් වන්නේද යන්න ගැන අපට ඕනෑ තරම් පාඩම් තිබේ.

ධනය වැය කරන ධනවාදයේ නියෝජිතයන් වෙනුවට මහජන අරමුනු වෙනුවෙන් පළාත්පාලන ආයතනවලට නියෝජිතයන් පත්කළ හැකි යයි කිසිවකු සිතන්නේ නම් ඇප මුදල් ප්‍රශ්නයෙන්ම කතාව ආරම්භ කළ හැකිය. සැබෑ මහජන නියෝජනය ඇත්තේ මහජන අභිලාෂයන් වේදිකා මත තොරොම්බල් කිරීම තුළද නැතිනම් පොදු අරමුනු වෙනුවෙන් අරගල බිමේ සිය දායකත්වය තැබීමෙන්ද යන්න ජනතාව විසින් විනිශ්චය කළ යුතුව තිබේ. එසේ ජනතා සාමුහිකත්වය තුළ විනිශ්චයක් නොවන තාක් ජනතාවට හිමිවන්නේ වංචනිකයන්ගේ නියෝජිතභාවයකි. වංචනික නියෝජනයෙන් හිමිවන්නේ වංචනික දේශපාලනයකි. මුං බීජ වපුරා තල අස්වනු නෙලන්නට නොහැකි බව සියල්ලෝ දනිති. නොදන්නෝ වපුරලාම දැන ගනිති.

කිසිවකු විසින් මෑතකදී සටහන් කර තිබුණේ ඇත්ත ජනතා අරමුනු වෙනුවෙන් ජයග්‍රහණ හිමිකර දුන් අය ලෙස ශිෂ්‍ය නායකයන් ජනතාව විසින් තෝරාගත යුතු බවය. එහෙත් අප නම් දන්නේ වංචනිකයන් තෝරාගන්නට සකස් කරන ක්‍රමවේදයකින් සහ වංචාකාරි දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් වන දේශපාලනයකින් අවංක නායකයන් කෝවක දමාවත් නිර්මාණය කල නොහැකි බවය. මසකට පමණ පෙර ‘පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ එක්ව සහයෝගයෙන් සම්මත කළ‘ බව කියූ පලාත්පාලන මැතිවරණ ක්‍රමය සතියකින් දෙකකින් අජීර්ණ වන අයුරු ජනතාවට මතක තබිය යුතුය. ඇත්ත ජනතා නියෝජිතයන් එවැනි කැදහැළියකින් පැන නගින්නේ නැත. ඇත්ත ජනතා අරමුනු වෙනුවෙන් නියෝජිතයන් බිහිවන්නේ ජනතා අරගලවලදීය. ජනතාවගේ ඇත්ත අරමුණු වෙන්වෙන් සටන් ඇවිලෙනු ඇත. ඒ ඇවිල යන අරගල තුල ඇත්ත ජනතා නියෝජිතයන් කැපී පෙනෙනු ඇත. වංචනික ක්‍රමවලින් පුම්බා උඩ යවන නියෝජිතයන් වෙනුවට ජනතාව සමග ජිවත්වන නියෝජන ක්‍රමයක් බිහිකර ගැනිමට අරගල කරමු.