Posted on 08.20.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුව විසින් අත්සන් කළබව කී නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අදාළ ගිවිසුම තවමත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කරමින් සිටින බව පැවසේ.
කෙසේ වෙතත් ආණ්ඩුව විසින් අදාල ගිවිසුම අත්සන් කළබවත් ඒ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහල පූර්ණ වශයෙන් රජයට පවරා ගත් බවත් උත්සවශ්‍රීයෙන් දැවැන්ත ප්‍රචාරණයක් සිදු කරමින් ප්‍රකාශ කරන ලදි. ඒ අනුව මෙය මුළුමනින්ම ජනතාව මුලා කරමින් ජනතා මුදල් විශාල ලෙස නාස්ති කරමින් ධනපති වුවමනාව රැක ගැනීම වෙනුවෙන් කරන ලද නිර්ලජ්ජිත උත්සහයක් ලෙස පෙන්වා දිය හැක.
මෙම පවරා ගැනීමට අදාළ ගිවිසුම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍යංශයේ ඉල්ලීම මත නීතිපති දෙපාර්තමේන්තුව කෙටුම්පත් කර එය නිවැරදි කිරීමෙන් අනතුරුව ජයවර්ධනපුර රෝහල අදාලව සිදුකළ අයුරින් පාර්ලිමේන්තුවට පනතක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත වී ඇති අතර අදාළ ගිවිසුම සඳහා පෙර අභිප්‍රාය ලිපිය(Letter of Intend) සඳහා අත්සන් තැබූ පාර්ශව තුනම ඊට එකඟතාවය පළකරමින් නැවත අත්සන් කල යුතු වේ.
මෙම ක්‍රියාවලිය සඳහා තවත් විශාල කාලයක් ගතවන බව නොරහසකි. එහෙත් මේ වන විටද අදාළ රෝහල සඳහා ආණ්ඩුව මැදිහත් වී අධ්‍යක්ෂක මණ්ඩලයක් සහ කාර්ය මණ්ඩලද පත්කර, ප්‍රාග්ධන සහ මෙහෙයුම් වියදම් සඳහා මිලියන ගණනින් මුදල්ද වෙන්කර අවසන්වී ඇත.
SAITM ගැටළුවට සියළු පාර්ශව වලට සාධාරණය ඉටුකරමින් විසඳුම් ලබා දෙන බව පවසා අවසානයේ ආණ්ඩුව නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් බව ප්‍රකාෂ කර තිබූනේ ජනතා ඉල්ලීම් පැහැර හරිමිනි. අවසානයේ එයද විශාල රැවටීමක් බව හෙළි වී හමාරය.