Posted on 01.30.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පෙබරවාරි මස 6 වනදා පෙරවරු 10. 30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවද බැදුම්කර සහ බරපතල වංචා විමර්ශන වාර්තා පිලිබද විවාදය ඒදින පැවැත්වීමට තීරණය කළ බවද, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල ප්‍රකාශ කරණ ලදී.
මීට අදාළව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමද තීරණයකින් තොරව අවසන් විය. බැදුම්කර වාර්තාව සහ බරපතල වංචා දුෂණ වාර්තා පිළිබද පාර්ලිමේන්තු විවාදයේ දින නියම කිරීම සදහා ජනාධිපතිවරයා විසින් කළ කැදවීමකට අනුව පැවති පක්ෂ නායක රැස්වීම එකගතාවයකින් තොරව අවසන් විය. පසුගිය 24 වනදා පැවති පක්ෂ නායක රැස්වීමේදී බැඳුම්කර විවාදය පෙබරවාරි 20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට තීරණය කළද පසුව විවිධ පක්ෂ විසින් ඊට විරුද්ධ වූ බව ප්‍රකාශ කරණ ලදී.
ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළේ තමන් පළාත් පාලන ඡන්දයට පෙර විවාදය ඉල්ලා සිටිය ද ආණ්ඩු පක්ෂය ඊට එකඟ නොවූ බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් පලාත්පාලන පැවැත්වෙන දිනයට පසුව විවාදය පැවැත්වීමට තීරනය කර අැත්තේ පක්ෂ විපක්ෂ ඒකගතාවකින් බවද පෙබරවාරි මස 10 වනදාට පෙර හැකි නම් විවාදය පවත්වන්නැයි අභියෝග කරණ ලදී.
ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සදහන් කළේ විවාදය සම්බන්ධයෙන් දිනයක් අගමැතිවරයා සමග සාකච්ඡා කර ලබාදෙන බවට කථානායකවරයා පොරොන්දු වූ බවයි. එක්සත් ජාතික පක්ෂය පෙබරවාරි 8 වනදා දිනයේදී විවාදය සිදුකිරීමට කැමැත්ත පළ කළද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය ද පෙබරවාරි 8 වනදාට පෙර දිනයක් ඉල්ලා සිට තිබේ. කෙසේවෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ පෙබරවාරි 8 වන දා පාර්ලිමේන්තුව කැදවීමට තමන් සූදානම් බවයි. ඒසේවුවද පෙබරවාරි 7 වන දා මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්වීම හේතුවෙන් මැතිවරණයට පෙරාතුව මෙම විවාදය පැවැත්වීම සම්බන්ධව දේශපාලන පක්ෂ අතර ඒ පිළිබදව විවාදයක් අැති විය.
මේ නිසා විවාදය සම්බන්ධ අවසන් තීරණයක් ගැනීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණද ඊට ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වූයේ නැත.