தமிழ்
English
Contact
Friday 6th December 2019    
සාම්ප්‍රදායික ඉස්ලාමය, වහාබ්වාදය සහ කැරලිකාර තවුහීද්වාදය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සාම්ප්‍රදායික ඉස්ලාමය, වහාබ්වාදය සහ කැරලිකාර තවුහීද්වාදය



(සුජිත් කුරුවිට- Facebook සටහනකි)

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් අන්තවාදී සංවිධාන සම්බන්ධවද ඉස්මලාමයේ විවිධ ප්‍රවණති සහ මුස්ලිම් සමාජය පිළිබදවද සංවාදයක් ඇතිව තිබේ. මේ ලිපිය සුජිත් කුරුවිට විසින් ලියා සිය ගිනු

ලංකාවට ඉස්ලාම් දහම පැමිනෙන්නේ 8වන සියවසේ සිට අරාබි වෙළෙන්දන් හරහාය. මේවන විට ජනගහනයෙන් 9.7% ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් වරු සිටිති. මොවුන්ගෙන් සාතිශය බහුතරය දෙමල භාෂාව කථා කරන අතර මොවුන් අතරින් 60%කට ආසන්න පිරිසකට සිංහල භාෂාව කථා කල හැකිය.

ඉස්ලාම් ආගමේ මූලික බෙදීම් 2ක් පවතී. ඒ සුන්නි සහ ශියා ලෙසය. නබි තුමාගෙන් පසු නායකයත්වය අරබයා මෙම බෙදීම ඓතිහාසිකව සිදුවිය. ඉස්ලාම් ලෝකයේ අද 85%ක් සුන්නි ඉස්ලාම් වන අතර 15%ක් පමණ ශියා වේ. ඉරානය, ඉරාකය, අසර්බයිජානය, බහරේන්, ලෙබනන් රටවල ශියා වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති අතර අනෙකුත් රටවල වැඩි වශයෙන් සුන්නි ඉස්ලාමය ව්‍යාප්තව පවතී.

ලංකාවේ මුල් කාලීනව අරාබි වෙලඳුන් හරහා ඉස්ලාම් පැමිණියද පසුව වැඩි වශයෙන් ඉස්ලාමය ව්‍යාප්ත වූයේ දකුණු ඉන්දියාවේ සිට පැමිණි මරක්කල ලෙස හැඳින්වූ ජනතාව ප්‍රමුඛවය. ඉන්දියාවේ කේරලයේ මලබාරය වැනි ප්‍රදේශවලට මුල්කාලීනවම අරාබි වෙලෙන්දන් හරහා ඉස්ලාම් පැමිණ තිබුනද පසුව ඉස්ලාම් මුල්කර ගත් සුල්තාන්ලා ප්‍රාදේශීය රාජ්‍ය ගනනාවක බලය ලබා ගැනීමත් සමගම ඉස්ලාම්කරනය වේගවත් විය. ලාංකීය මුස්ලිම් ප්‍රජාව තුල සාතිශය බහුතරය තමිල් භාශාව කථා කරයි. 60%කට ආසන්න පිරිසකට සිංහල කථා කල හැකිය. මැලේ සහ ජා ජන වර්ගද ඉස්ලාම් දහම අදහයි. ඔවුන් ප්‍රමානාත්මකව ඉතා සුලු ප්‍රතිශතයකි. ඔවුන්ද ඇතුලත්ව ලාංකීය මුස්ලිම් ප්‍රජාව සාතිශය බහුතරය සුන්නි ඉස්ලාම් භක්තිකයන් වේ.
මධ්‍යම ආසියාවේ මුස්ලිම් රාජ්‍යයන් සෝවියට් සංගමයට සම්බන්ධවී සිටිද්දී, මැද පෙරදිගද ඇතැම් රාජ්‍යයන්හි කමියුනිස්ට් පක්‍ෂ පෙරට එද්දී, ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ධනවාදී කඳවුර තම ඉත්තෙක් වූ සෞදි අරාබිය සෝවියට් කඳවුරට එරෙහිව යෙදවූ ඉතිහාසය අපි දනිමු.

18 වන සියවසේ අරාබියේ රියාද් වල උපන් විද්වතෙකුවූ මුහම්මද් අබ්දුල් වහාබ් ඵවකට තුර්කි ඔටෝමන් අධිරාජ්‍යට යටත්ව තිබූ අරාබි ප්‍රදේශවල මතුවෙමින් තිබූ මලවුන් ඇදහීම, මලවුන්ගෙන් වැඩ ගැනීම වැනි මිත්‍යාවන්ට එරෙහිව හඳුන්වා දෙන ලද ආගමික හර පද්ධතියක් ලෙස වහාබ් ඉගැන්වීම් බිහිවිය. එය සුන්නි ඉස්ලාම් ප්‍රවනතාවයක් ලෙස වර්ධනය විය.
නමුත් සවුදි අරාබියේ රජ අනුග්‍රහයෙන් පසුව මෙය වහාබ්වාදයක් බවට පත්වී ආගමික ආක්‍රමණයක ස්වරූපයට පත්විය. මුලින්ම සෝවියට් කඳවුර ට එරෙහිව සෞදි අරාබියේ මැදිහත් වීමෙන් වහාබ්වාදය පාවිච්චි විය. සෝවියට් කඳවුර බිඳ වැටීමෙන් පසු ලෝක තෙල් වෙළඳපොළ ඒකාධිකාරය සෞදි අරාබිය සමග එක්ව පවත්වා ගෙන යාම සඳහා එක්සත් ජනපදය විසින් ඊට බාධාකාරී වූ මුස්ලිම් රටවල් දුර්වල කිරීමට තවදුරටත් වහාබ්වාදය යෙදවීය. ඇෆ්ගනිස්ථානය, ඉරානය, ඉරාකය, සිරියාව යන රටවල ගොඩනැගුණු ත්‍රස්තවාදී ප්‍රවනතා වල ආගමික පදනම සැකසුනේ මේ අනුවය. අයි එස් ත්‍රස්තවාදීන් ගොඩනැගුණේද මෙම අවශ්‍යතාව ඔස්සේය.

ලංකාවේ මෑත කාලීන ඉස්ලාම් ආගමික වෙනස්කම් සඳහාද සෞදි අරාබිය මුල් කරගෙන පැමිණි වහාබ්වාදී බලපෑම මුල් විය. දවට ගහ පල්ලිය වැනි මලවුන් පවා අදහන සාම්ප්‍රදායික ආගමික සංස්ථාව අභිබවමින් වඩා ක්‍රමවත් හා සංවිධානාත්මක ආගමික පද්ධතියක් ලෙස ලංකාවේද වේගයෙන් ව්‍යාප්ත විය. සෞදි අරාබියේ තෙල් වෙළඳාමේ අතිරික්තය මේ සඳහා අරමුදල් සැපයීය. වහාබ්වාදය ආගමික හර පද්ධතියක් ලෙස ඇතැම් ඉස්ලාම් වියතුන් ඒ හා බැඳෙද්දී තවත් පිරිසක් අරාබි සංස්කෘතික වැලඳගැනීමක් ලෙස එය හා බැඳුනි.

සෞදි සහ තවත් මැද පෙරදිග රටවල අනුග්‍රහය මවුලවි වරුන්ට හා පල්ලි ප්‍රධානීන්ට ලැබෙද්දී ඔවුන් වහබ්කරණයට යහුසුලු විය. පැවති ආණ්ඩුව සමග සිටි සහ වත්මන් ආණ්ඩුව සමග සිටින මුස්ලිම් මැති ඇමතිවරුද වහබ්වාදය ව්‍යාප්ත වීමට අනුග්‍රහය ලබා දුන්නේ පෙරලා ඔවුන් වෙතද ලැබෙන ප්‍රතිලාභ හේතුවෙනි. මද්රාසා පාසල් නමින් හැඳින්වෙන ඉස්ලාම් උසස් ආගමික පාසල් මෙරට බොහෝ කලක සිට පැවතියද මෑතදී මැද පෙරදිග ආධාර මගින් ඒවා බොහෝ සංවර්ධනය විය. සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන පෙර ඒවායේ ඉගෙනුම ලැබූ සිසුන් අරාබි සංස්කෘතික ඇඳුම් අඳින්නට විය. සාරි පොටෙන් හෝ ස්කාෆයෙන් හිස වසාගැනීමට හුරුවී සිටි මෙරට මුස්ලිම් කාන්තාවන් අතර බුර්කා නිකාබ් ආදිය වර්ධනය විය. පොදු පාසල් වලට දරුවන් යැවීම වෙනුවට ආගමික පාසල් වලට යැවීම වැඩි විය. එසේ වුවද අබ්දුල් වහබ්ගේ මුල් ඉගැන්වීම් වල සවරූපයෙන් වහාබ් ඉස්ලාම් දහම ආගමික සද්භාවයකින් අනුගමනය කරන විද්වත් පිරිසක්ද මෙරට සිටින බව කිව යුතුය.

එක්සත් ජනපදය ප්‍රමුඛ ක්‍රිස්තියානි කඳවුර විසින් මුස්ලිම් විරෝධයක් ලෝ පුරා මතු කිරීමත් ලංකාවේද බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධාන සමස්ත මුස්ලිම් ජනතාව වෙත වෛරය මුදා හැරීමත් විසින් මෙරට මුස්ලිම් වරු අතර හුදෙකලාබාවය සමග බැඳුනු මනෝභාවයද අරාබිකරනය වෙත තල්ලුවීම වේගවත් වීමට බලපෑවේය. සෞදි අරාබියේ රජු වන බින් සල්මාන්ට 2017දී වහාබ්වාදී ආගමික ප්‍රතිපත්ති කීපයක් වෙනස් කරමින් වහාබ්වාදයේ යල්පැන ගිය අහිතකර අංග වෙනස් කල යුතු බවට ප්‍රකාශයක් කිරීමට සිදුවිය. වහාබ්වාදය ව්‍යාප්ත කිරීම සිදුවූයේ බටහිර ප්‍රබල රටවල ඉල්ලීමට අනුව බව බින් සල්මාන් වැඩිදුරටත් පවසා තිබේ. තම පවුලේ අය කෙරෙහි වහාබ්වාදී නොවන බටහිරට නැඹුරු සංස්කෘතික ප්‍රවේශයක් බින් සල්මාන් අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ.

තව්හිද්වරු ලංකාව තුල බිහි වන්නේ සාම්ප්‍රදායික ඉස්ලාමයටත් අරාබිකරනය වූ ඉස්ලාමයටත් දෙකටම එරෙහි රැඩිකල් ප්‍රවනතාවක් ලෙසිණි. ඇතැම් සාම්ප්‍රදායික මුස්ලිම්වරු මොවුන්ව හඳුන්වන්නේ තව් කාරයන් යනුවෙනි. ඔවුන් කාන්තාවන්ද පල්ලියට කඳවිය යුතු බව පැවසීය. සාම්ප්‍රදායික පල්ලිය එය ප්‍රතික්ශේප කරද්දී ඔවුන් තව්හීද් පල්ලි සාදා කාන්තාවන්ද ඒවාට කැඳවීය. විවාහ උත්සව සාම්ප්‍රදායික උත්සව අනුව ගැනීම වෙනුවට ඔවුන් සරලව විවාහයන් සිදු කලහ. බුර්කාව ඔවුන් ඇන්දේ නැත. සාම්ප්‍රදායික තොප්පියද ඔවුන් පැළඳුවේ නැත. පූජකවරු ලෙස වෙනම වරප්‍රසාදිත පැලැන්තියක් අවශ්‍ය නැතැයි තව්හීද්වරු පැවසීය. සාම්ප්‍රදායික පල්ලියට සහ අරබි අනුග්‍රහයෙන් සශ්රීකවූ පල්ලියට එරෙහිව රැඩිකල් සංස්කෘතික කැරැල්ලක් තව්හීද්වරු දියත් කල අතර අධ්‍යාපනික තරුණ පිරිස් ඔවුන් වෙත ආකර්ෂණය විය.

සාම්ප්‍රදායික පල්ලිය තව්හීද් පල්ලි ගිනි තැබූ අතර ඔවුන්ද එවැනිම ප්‍රතිචාර දැක්වීය. සාම්ප්‍රදායික පල්ලිය සහ පූජක සංස්ථාව මැතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂය සහ මුස්ලිම් කොන්ග්‍රසය වෙත අඛන්ඩව පක්‍ෂපාතී වෙද්දී රාජපක්ෂවරු මේ විකල්ප තව්හීද් සංවිධාන වෙත ආධාර අනුබල දුන්හ.

තව්හීද් යන වචනය තුලින් කියවෙන්නේ ඒක දේවවාදී යන අරුතය. එය නබි තුමාගේ සහ මුහම්මද් අබ්දුල් වහාබ් ගේ ඉගැන්වීම් වලද එන සංකල්පයකි. සංස්කෘතික වශයෙන් ඉදිරිගාමී ඇතැම් ප්‍රවේශයන් පෙන්වුවද දාර්ශනිකව තව්හීද් සංවිධාන ආගමික මූලධර්මවාදී සවරූපයක් පෙන්වීය. සාම්ප්‍රදායික ඉස්ලාම් පල්ලිය සහ වහාබ්වාදී ප්‍රවනතාවල ඇතුලට නැඹුරුවූ සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව කැරැල්ලක් මතු වීම අනිවාර්යයක්ව තිබුනද තව්හීද් කැරැල්ල නූතනත්වය සමග සම්බන්ධවූ එකක් නොවීය. ජිහාද් යන්නෙහි තේරුම අරගලකාරී යන්නයි. රනිල් වික්‍රමසිංහ තව්හීද් සංවිධාන ජිහාදි සංවිධාන ලෙස හඳුන්වූයේද මේ අරුතිනි. එහෙත් ඔවුන්ගේ ජිහාදිය වඩා විවෘත සහ නිදහස් ප්‍රජාවක් උදෙසා නොවී අන්තවාදී උන්මාදයක් සමග ගැට ගැසුණි. එසේ වුවද තව්හීද් නාමයෙන් සිටින ත්‍රස්තාදී නොවන සහ ත්‍රස්තවාදය අනුමත නොකරන පිරිස්ද සිටින වග අමතක නොකල යුතුය.

ඉන්දියාවේ වෙසෙන මූලධර්මවාදී දේශකයකු වන සකීර් නායික් වැන්නන්ගේ දාර්ශනික මග පෙන්වීමට තව්හීද්ලා ආකර්ෂණය විය. සකීර් කුප්‍රකට පීස් ටීවී නාලිකාවේ නිර්මාතෘය. මෙම නාලිකාව පකිස්ථානයේ සහ බංගලාදේශයේද මේ වන විට තහනම්ය. වෛද්‍ය වරයකු වන සකීර් සංගීතය සහ නර්තනයටද විරුද්ධ, පරිනාමවාදයට විරුද්ධ, කාන්තා අයිතීන්ට විරුද්ධ මූලධර්මවාදියෙකි. මේ නිසාම ඔහුගේ දේශන ඇතැම් රටවල තහනම්ය. ජාතික තව්හීද් ජමාත්හි සහරාන් වැන්නන් මෙම මූලධර්මවාදී උපරිම ප්‍රවේශය වන මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බිහිකරන උමතුවක් වෙතම වර්ධනය කරන්නට විය. එහි අඳුරු ප්‍රතිඵල අපි මේ මොහොතේ සමාජයක් ලෙස භුක්ති විඳින්නෙමු.

මෙහි ඉදිරි භයානක කම ඇත්තේ සමස්ත මුස්ලිම් සමාජය දෙසම ත්‍රස්තවාදීන් දෙස බලන තත්වය සහ මෙම ප්‍රහාරය විචාරශීලී නොවන මුස්ලිම් තාරුණ්‍යයට අභිමානයක් ලෙස සිතෙන තත්වය හමුවේ ඔවුන් තවදුරටත් තව්හීද්වාදී අන්තවාදී ප්‍රවනතා වෙත ඇදී යාමේ අනතුරයි. මුස්ලිම් විචාරශීලී ප්‍රගතිශීලී තරුණ කොටස් සමග එක්ව සංස්කෘතික සහ දාර්ශනික ඉදිරිගාමී රැඩිකල් ප්‍රවේශයක අවශ්‍යතාව මතුකරන සංවාදයක් ගොඩනැගීම සහරාන්ලාගේ අසමත් කම විසින් මේ මොහොතේ තවදුරටත් තහවුරු කර තිබේ.

(මෙම ලිපියට මුස්ලිම්වරුන්ගෙන් අප සාකච්ඡා කර ලද තොරතුරු, ලිපිවලින් උපුටාගත් කරුනු සහ වෙබ් අඩවි කීපයකින් ගත් තොරතුරු වලින් යුක්තය. )