தமிழ்
English
Contact
Wednesday 22nd September 2021    
අමරදේව අසපුවේ ඉදිකිරීම් අත්හැර දමලා, පරිශ්‍රය වල් බිහි වෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අමරදේව අසපුවේ ඉදිකිරීම් අත්හැර දමලා, පරිශ්‍රය වල් බිහි වෙයි!



ආචාර්ය, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව සිහිකිරීම වෙනුවෙන් මීට වසර හතරකට පෙර රුපියල් කෝටි 20ක වියදමින් බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී ඉදිකිරීම ඇරඹුණු ‘අමරදේව අසපුවේ’ ගොඩනැගිලි මේ වන විට වල් බිහිවෙමින් පවතින බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරයි.

ඩයනා උදයංගනීගේ වාර්තාවකට අනුව, මෙම අසපුවේ කොටසක තැන්පත් කිරීමට නියමිත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ භෂ්මාවශේෂ ද වසර පහක් පමණ තිස්සේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත. එමෙන්ම ඉකුත් මාර්තු මස අභාවප්‍රාප්ත වූ විමලා අමරදේවයන්ගේ භෂ්මාවශේෂ ද මෙහි තැන්පත් කිරීම සඳහා බව කියමින් එම මල් ශාලාවේම තැන්පත් කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම අමරදේව අසපුව 2019 අගෝස්තු 31 දිනයේදී ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට එම වසරේ ජූනි මස උපදෙස් දී තිබුණත් එහි ඉදිකිරීම් කළ කොන්ත්‍රාත් සමාගමේ දුර්වලතා හේතුවෙන් එහි ඉදිකිරීම් මේ වන විටත් අවසන් කිරීමට නොහැකිව ඇත.

එවක ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඉදිකිරීම් ආරම්භ වූ මෙහි කටයුතු අවසන් කිරීමේ වගකීම වත්මන් රජය යටතේ බුද්ධ ශාසනල ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතට පැවරී තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර ‘ලංකාදීප’ පුවත්පතට පවසා ඇත්තේ අමරදේව අසපුව පසුගිය රජය සමයේ සිට ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පැවතියත් එය මීට මාස හයකට පමණ ඉහතදී බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ විෂයන් යටතට පවරනු ලැබූ බවයි.

අගමැතිවරයා යටතේ පවතින මෙම අමාත්‍යංශය විසින් හෝ ඉක්මනින් මෙම ඉදිකිරීම අවසන් කර පණ්ඩිත් අමරදේව වෙනුවෙන් එය විවෘත කරන්නේ නම් අගය කරන බව රංජන අමරදේව විසින් පුවත්පතට අදහස් දක්වා ඇත.

පණ්ඩිත් අමරදේවගේ සංගීත නිර්මාණ හා සංගීත සම්ප්‍රදායන් සංරක්‍ෂණය කර අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින් සැලසුම් කරන ලද ‘අමරදේව අසපුව’ පුස්තකාලයක්, ලේඛනාගාරයක්, කෞතුකාගාරයක්ථ සම්මන්ත්‍රණ ශාලාවක්, ශබ්දාගාරයක්, එළිමහන් රඟහලක් ආදී අංග රැසකින් සමන්විතය.

අමරදේව අසපුවට මුල්ගල් තැබීම
අසපුව අඩක් ඉදිකර අත්හැර දමා ඇති අයුරු