Posted on 06.12.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ වසංගතය සමඟ කටයුතු කිරීමේදී අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කරන ලෙස සංවිධාන හා වෘත්තීය සමිති 54ක් සහ සමාජ ක්‍රියාකාරීන් 72 දෙනෙක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
උග්‍ර වන වසංගත තත්ත්වය, අඛණ්ඩව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා නීතියේ ආධිපත්‍යය පිරිහීම පිළිබඳව බරපතළ කනස්සල්ල පළ කරන බව එම නිවේදනයේ දැක්වේ.
පසුගිය කාලයේදී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ සිය රාජකාරී කිරීමට එල්ල වූ බාධා සම්බන්ධයෙන් ඔවුන් මෙම නිවේදනය මගින් සිය අවධානය යොමු කර තිබේ. එමෙන්ම නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ කවියකු වන අහ්නාෆ් ජසීම් සම්බන්ධයෙන් ද මෙහිදී ඔවුන් සඳහන් කර ඇත.
පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කළ පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශ නිර්මාණය කරන්නන් සහ ඒවා බෙදාගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට විශේෂ කණ්ඩායමක් පත්කිරීම මගින් අදහස් ප්රකාශනයේ නිදහසට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බව ද මෙම නිවේදනය හරහා ප්‍රකාශ කර තිබේ.
සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ .
‘උග්‍ර වන වසංගත තත්ත්වය, අඛණ්ඩව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා නීතියේ ආධිපත්‍යය පිරිහීම පිළිබඳව මෙම ලේඛනයේ සම අත්සන්කරුවන් වන, ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සංවිධාන, වෘත්තීය සමිති සහ පුද්ගලයන් වන අපගේ බරපතළ කනස්සල්ල පළ කරන අතර ම, මේ අවදානම් වෛරසය පැතිරීම වැළැක්වීමට සහ ඉන් බලපෑමට ලක්වූවන් රැකබලා ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්රයේ සහ වෙනත් බොහෝ ක්ෂේත්රවල සිටින අයගේ උත්සාහය අපි අගය කරමු.
කොවිඩ් 19 මර්දන එන්නත් ලබාදීමේදී පැහැදිලි ප්‍රමුඛතා ලබානොදීම, සංවිධිත ක්‍රියාවලියක් නොමැති වීම, වෛරසය හඳුනාගැනීමේ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව අඩු කිරීම තුළින් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය කෘත්‍රිමව අඩු කිරීම සහ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමාණවත් සහායක් ලැබී නොමැති බවට වාර්තා වීම සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු.
එසේම, බොහෝ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට එන්නත්කරණයේදී සහ පීසීආර් පරීක්ෂණ කිරීමේදී ප්‍රමුඛතාවක් නොලැබීම පිළිබඳව ද අපි සැලකිලිමත් වෙමු. අවම පහසුකම් සහිත ජනාකීර්ණ අවකාශවල සිටින සිරකරුවන් සහ ඇඟලුම් කම්හල් සේවක-සේවිකාවන් මීට ඇතුළත් විය යුතු අතර, අසනීප, ගැබ් ගැනීම් සහ සේවා ස්ථානයේ සෞඛ්‍ය පූර්වෝපායන් නොමැති තත්ත්වයන් යටතේත් ඔවුන්ගෙන් පිරිසකට වැඩ කිරීමට බලකෙරෙමින් තිබේ. තවද, නිරෝධායනය සහ සංචරණ සීමා පැනවීම නිසා ආදායම් අහිමි වූ, කුඩා-ජනාකීර්ණ නිවාසවල සහ නේවාසිකාගාරවල බලහත්කාරයෙන් නිරෝධායනය කිරීමට ලක්වූවන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස ලබා දී නොමැති බව ද අපි සඳහන් කරමු. එසේම, නිරෝධායන රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී මිනිසුන් වෙනස් කොට සැලකීම, විශේෂයෙන්ම ඒ ආශ්රිත අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් අපි විමතියට පත්ව ඇත්තෙමු.
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය හා සම්බන්ධ සිද්ධීන් සහ ඒ ආශ්‍රිතව සිදුවූ මරණ පිළිබඳව ගත් කල, පසුගිය මාසය අතිශය බරපතළ වූ අතර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ විසම්මුතිය පුළුල් ලෙස මර්දනය කිරීම ද මේ කාලය තුළ දැකිය හැකි විය. සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශ නිර්මාණය කරන්නන් සහ ඒවා බෙදාගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට විශේෂ කණ්ඩායමක් පත්කරන බව පසුගිය සතියේ පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කළ අතර, එමගින් අදහස් ප්රකාශනයේ නිදහසට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් අපි දැඩි අවධානය යොමු කර ඇත්තෙමු. මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන සෞඛ්‍ය කාර්යමණ්ඩලයට එරෙහිව පියවර ගන්නා බවට තර්ජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් මීට පෙර චක්‍රලේඛයක් ද නිකුත් කර තිබිණි. වෛද්‍ය චමිල සංජීව මහතා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ විනය පරීක්ෂණයකට මුහුණ දී සිටින අතර, ඔහුගේ ලිපි සහ මාධ්‍ය වෙත ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ඡා හේතුවෙන් මෙය සිදුවූ බවට සැකයක් පවතී. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙකු වන චමිල ජයසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ පරිසර විනාශය පිළිබඳ ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් ය. ප්‍රභූ පුද්ගලයෙකු මාර්ගයේ ගමන් කිරීම නිසා සිදුවූ අනපේක්ෂිත මාර්ග තදබදයකට සිය අප්‍රසාදය, වාහන නලා ශබ්ද කරමින් පළකරන ලෙසට මෝටර් රථ රියදුරන්ගෙන් ඉල්ලා සිටි තරුණයෙකු කොළඹ දී අත්අඩංගුවට ගෙන තිබිණි. එසේ ම මේ වසර මුලදී පැවති අනුස්මරණ උත්සවයක් සම්බන්ධයෙන් කඳුකරයේ මාධ්‍යවේදියෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් බිය ගැන්වීම්වලට මුහුණ දී තිබිණි.
ප්‍රාදේශීය පොලිස් ස්ථානය භාර නිලධාරියා විසින් සංචරණ සීමා පැවතියද, රාජකාරි කටයුතු සඳහා සංචාරය කිරීමට අවසර ඇති බව තහවුරු කර තිබියදීත්, අතිශයින් මිලිටරීකරණය වූ මුලතිව් දිස්ත්‍රික්කයේ හමුදා මුරපොළකදී මාධ්‍යවේදියෙකුට තම වෘත්තීය රාජකාරි සඳහා ගමන් කිරීම වැළැක්වීමට උත්සාහ ගෙන තිබිණි. යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලිවයික්කාල් ගම්මානයේ ඉදිකිරීමට ගිය නව අනුස්මරණ සමරු ඵලකයක් එක් රැයකින් අතුරුදන් විය. එදිනම රාත්‍රියේ එම ස්ථානයේ ඉදිකර තිබූ ස්මාරකයකට ද හානි වී තිබිණි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව යුද්ධයෙන් මියගිය අය වෙනුවෙන් අනුස්මරණ උත්සව පැවැත්වීමට උත්සාහ කරන විට, උතුරු හා නැගෙනහිර දෙමළ දේශපාලනඥයන්, ආගමික පූජකයන්, ක්‍රියාකාරීන් සහ ප්‍රජා නායකයන්ට බිය ගැන්වීම් සහ අධිකරණ නියෝගවලට මුහුණ දීමට සිදු විය. දෙමළ මාධ්‍යවේදියෙකු මාස හයකට වැඩි කාලයක් රඳවාගෙන සිටින්නේ මියගිය එල්ටීටීඊ සාමාජිකයන් සැමරීම පිළිබඳව අදහස් ප්‍රකාශ කරමින් තැබූ ෆේස්බුක් සටහනක් පදනම් කරගෙන යැයි කියනු ලැබේ.
මන්නාරම, සිලාවතුර පදිංචි 26 හැවිරිදි කවියෙකු වන අහ්නාෆ් ජසීම්ව නීත්‍යනුකූලභාවය සමාලෝචනය කිරීම සඳහා මහේස්ත්රාත්වරයෙකු වෙත ඉදිරිපත් නොකර, කිසිදු චෝදනාවකින් තොරව වසරකට වැඩි කාලයක් සිරගත කොට ඇත. ඔහුගේ නීතිඥයන්ට ඔහුව හමුවීමට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඔහු බැලීමට හෝ ඇමතීමට ප්‍රමාණවත් අවස්ථාව ලැබී නැත. ඔහුට ප්‍රමාණවත් ආහාර හා සෞඛ්‍ය පහසුකම් ලබා දී නොමැති අතර, වෙනස් කොට සැලකීම, කුරිරු – අමානුෂික හා පහත් කොට සැලකීම්වලට ද යටත්වීමට සිදුවී ඇත. ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ නීතිඥයන් සැක කරන්නේ මෙය ඔහු නිදහස් කර ගැනීමට දරන උත්සාහයට එරෙහි පළිගැනීම් මෙන්ම ස්වයං-වරදකරුවෙකු ලෙස ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය ගන්නා උත්සාහයේ කොටසක් බවයි. ඔහුව අත්අඩංගුවට ගැනීම, වසරකට වැඩි කාලයක් රැඳවුම් භාරයේ සිටින සුළුතර අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයෙකු මෙන්ම මානව හිමිකම් නීතිඥවරයෙකු වන නීතිඥ හිජාස් හිස්බුල්ලා වරදකරු කිරීමට ගත් උත්සාහයේ ම කොටසක් යැයි මාධ්‍ය චෝදනා කරයි. මාස 11ක පමණ කාලයක් රඳවා තබා ගැනීමෙන් පසු හිජාස් හිස්බුල්ලාට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති නමුත්, මාධ්‍ය වාර්තාවලින් ඔබ්බට ඇති තොරතුරු කිසිවක් ඔහුගේ නීතිඥයන්ට දන්වා නැත.
හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන ලෙස තමන් බිය ගැන්වූ බව ප්‍රකාශ කරමින් ළමුන් කිහිපදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මූලික අයිතිවාසිකම් නඩු පවරා ඇති අතර, මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ඔහුට එරෙහිව ඇති අධිචෝදනාව එක් දරුවෙකුගේ සාක්ෂි මත පදනම් විය හැකි බවයි. පසුගිය වසරේදී පොලිසිය මගින් මෙහෙයවූ දෝෂ සහිත හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් කොළඹ-කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අවලංගු කළ අතර, ඔහුට (මහේස්ත්රාත්වරයාට) ලබා දුන් රහස්‍ය සාක්ෂි මාධ්‍ය වෙත ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ද නියෝග කර තිබිණි. අහ්නාෆ් සහ හිජාස් යන දෙදෙනාම ඉස්ලාමීය අන්තවාදය ප්‍රසිද්ධියේ විවේචනය කළ අතර, පාස්කු බෝම්බ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ. විධිමත් චෝදනාවකින් තොරව පාස්කු ප්‍රහාරයෙන් පසු රැඳවුම් භාරයේ සිටින මුස්ලිම්වරුන් 285 දෙනෙකු පිළිබඳව අපි ද සැලකිලිමත් වෙමු. පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරුවන් සහ ආධාර – අනුබල ලබාදුන් අයට එරෙහිව, සමස්ත පාස්කු ප්‍රහාරය සඳහා අප යුක්තිය ඉල්ලා සිටින අතර, එය සිදු විය යුත්තේ නීතියේ ආධිපත්‍යය, සාධාරණ නඩු විභාග සහ සැකකරුවන්ගේ සහ චූදිතයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන ක්‍රියාවලියක් හරහා ය.
අවසාන වශයෙන්, සිරකරුවන්, කර්මාන්ත ශාලා සේවකයන්, දෛනික වැටුප් හිමිකරුවන් වැනි අවදානමට ලක්විය හැකි ජනතාවට එන්නත්කරණය, පීසීආර් පරීක්ෂණ සහ සෞඛ්‍ය ක්‍රියාමාර්ග මෙන්ම මානුෂීය සහාය ද ලබා දිය යුතු බව අපි මතක් කර සිටිමු. සෞඛ්‍ය, ආහාර යනාදිය සඳහා ඇති අයිතිවාසිකම් සැලකිය යුත්තේ ජනතාවගේ අයිතිවාසිකම් සහ රජයේ යුතුකම් ලෙස මිස, පාලකයන්ට ඔවුන්ගේ අභිමතය පරිදි ජනතාවට ලබාදිය හැකි දේවල් ලෙස නොවේ. මෙවැනි හදිසි අවස්ථාවකදී වසංගතය පිළිබඳ උපරිම තොරතුරු සහ අදහස්, මුද්‍රණ, විද්‍යුත් හා වෙබ් මාධ්‍ය හරහා ලබාගැනීමට ජනතාවට හැකිවිය යුතුය. වෛද්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, විචාරකයන්, පරිසරවේදීන් ප්රමුඛ කණ්ඩායම් විසින් විකල්ප අදහස් හා තොරතුරු සමාජගත කිරීම, ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කිරීම, විවේචනය කිරීම සහ ඊට අභියෝග කිරීම පිළිගත යුතු අතර, ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් ඔවුන්ගෙන් පළිගැනීම් නොකළ යුතුය. වසංගතය සමඟ කටයුතු කිරීම සඳහා අයිතිවාසිකම් මත පදනම් වූ ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වන අතර, අයිතිවාසිකම් මත පනවන කිසිදු සීමාවක් වෙනස් කොට සැලකීමක් නොවිය යුතුය. ඒවා අවශ්‍යතාවන්ට සමානුපාතිකව මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතියෙන් නියම කළ යුතුය.
අත්සන් කර ඇති සංවිධානවල නම් පහතින් (එහි සඳහන් වන ආකාරයටම දක්වා ඇත)