රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මුදල් ඇමති මංගල සමරවීර ගෙන ආ 2019 අයවැය
පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමේදී අද(12) වැඩි ඡන්ද 43 කින් සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡන්ද ගණන 76 කි. මෙහිදී අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂය,දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අතර ආරුමුගම් තොන්ඩමන් මන්ත්‍රීවරයා සහ මුත්තු සිවලිංගම් මන්ත්‍රිවරයා , දෙමළ සන්ධානය සමඟ එක්සත් ජාතික පක්ෂය ඊට පක්ෂව ඡන්දය පාවිච්චි කළේය.
මෙහිදී විපක්ෂය නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසයේ මුත්තු සිවලිංගම් හා ආරුමුගම් තොණ්ඩමන් යන මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂත්වයකි.
කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, සරත් අමුණුගම, එස්.බී.දිසානායක, ඩග්ලස් දේවානන්ද, අතුරලියේ රතන හිමි ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොවූහ.
එමෙන්ම පසුගිය ඔක්තෝබර් මස මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට සහය පළ කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන අශෝක ප්‍රියන්ත හා විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ද එම අවස්ථාවේ සභාවේ සිටියේ නැත.