Posted on 11.01.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් වන රහසිගත වාර්තාවක් ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය අද ( 01) නීතිපතිට අවසර ලබා දෙන ලදී.
එම කරුණු සහිත රහසිගත වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව සතුව ඇති බැවින් එය ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ කල ඉල්ලීම පිළිගත් අධිකරණය විසින් මෙම අවසරය ලබා දෙන ලදි.
එම වාර්තාව අද (02) අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නීතිපතිට නියම කෙරිණ.
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අතුරුදන්වූ තරුණයන් ගේ දෙමව්පියන් හතර දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම ඉල්ලීම කර තිබේ.
සරෝජා ගෝවින්ද සාමි නාගනාදන් හෙවත් එම්.සරෝජනී පෙරේරා, ජමාල්ඩීන් ජෙනී ෆස්ලීන්ජෙනිෆර් වීරසිංහ, දොන් මර්වින් ප්‍රේමලාල් වීරසිංහ, අමීන්තුල් ජිෆ්රියා සාබ්දීන් මෙම පෙත්සම් කරුවෝ වෙති.
නීතිපතිවරයා සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.
නීතිපතිගේ එම තීරණය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් කරන ලෙස ද විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ට එරෙහිව ගොනු කර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන ලෙස නීතිපතිවරයා ට බල කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.