Posted on 11.19.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
උතුරේ යුද්ධය හේතුවෙන් මියගිය ඒල්.ටී.ටී.ඊ සංවිධාන සාමාජිකයන් වෙනුවෙන් සැමරුම් උත්සව පැවැත්වීම වළක්වාලමින් වවුනියාව මහෙස්ත්‍රාත් එම්.එස්.සම්රූන් විසින් නියෝගයක් නිකුත් කර ඇත.
මෙම නියෝගය නිකුත්කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් ඇතුළු පුද්ගලයන් අටදෙනකු සම්බන්ධයෙනි.
මියගිය එල්.ටි.ටි.ඊ සාමාජිකයන් සිහිකිරීම සඳහා සැමරුම් උත්සව සංවිධානය කිරීම ජාතික සමගියට බාධාවක් බවට පවසමින් 1979 අංක 15 අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ එම වැඩසටහන් තහනම් කරන ලෙස වවුනියාව පොලිසිය විසින් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝග නිකුත්කරනු ලැබීය.
දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන්ට අමතරව ‘යුද්ධයෙන් අතුරුදන්වූන් පිළිබඳ සංගමයේ සභාපති කේ.ජයවනිතා , එම සංගමයේ ලේකම් ගෝපාල්ක්රිශ්ණන් රාජ්කුමාර්, හිටපු පළාත් සභා මන්ත්‍රී පි.සත්‍යලිංගම් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශිවමෝහන් , අතුරුදහන්වූවන්ගේ සංගමයේ සාමාජිකයින් වන ගජන් ගජේන්ද්‍රන් , සෙල්වනායගම් අරවින්දන් , සුබ්‍රමණියම් තවබාලසිංහම් යන අය වෙත මෙසේ මහෙස්ත්‍රාත් අධිකරණයේ තහනම් නියෝගය පනවා තිබේ.
සාමාන්‍යයෙන් මිය ගියවුන් සිහි කිරීම මූලික අයිතියක් ලෙස සැළකෙන අතර දේශපාලන අදහස් හේතුවෙන් මිය ගියවුන් සිහිකිරීම තහනම් කිරීම යනු සමාජයක මූලික මිනිස් අයිතිවාසිකම් අහිමි කළ බවට නිදසුනක් වේ.
විශේෂයෙන්ම 2009 මැයි මාසයේ යුද්ධය අවසන්වීමත් සමග ආරක්ෂක අංශ වෙත භාරවූවන් පිරිසක්ද මේ වනවිට අතුරුදන්ව ඇති අතර, ඒ සම්බන්ධ මේ දක්වා කිසිදු ආණ්ඩුවකින් වගකීම් සහගත මැදිහත්වීමක් සිදුකර නැත. යුද්ධය සමයේ අතුරුදන් කළවුන් සම්බන්ධ රජය විසින් වගවීමක් පොරොන්දු වී ඇති අතර ඒ සම්බන්ධ කිසිදු විනිවිද පෙනෙන යාන්ත්රනයක් සකස් කිරීමද මේ දක්වා සිදුකර නැත.