Posted on 12.30.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගිය දිනවල උතුරේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පවුල් 39,895 කට අයත් පුද්ගලයින් 123,862 දෙනෙකු විපතට පත්ව ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
අද(30) වන විට ජාතික ආපදා කළමනාකරණ ඒකකයයේ වාර්තා අනුව, මෙම ආපදා තත්වය තුළ නිවාසවල පූර්ණ හානි 474 ක් සිදු වී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 4522කට හානි වී තිබේ. විපතට පත් වැසියන්ගෙන් පවුල් 1146 කට අයත් පුද්ගලයින් 3708 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 11 ක රඳවා සිටී. යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සහ කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයන්හි මරණ දෙකක් වාර්තා වී ඇත. වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කය වන අතර පවුල් 25,281 කට අයත් පුද්ගලයන් 78,528 දෙනෙකු විපතට පත්ව නිවාස පූර්ණ හානි 388ක් සහ අර්ධ හානි 2225 සිදුව ඇත.
මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 10,388 කට අයත් පුද්ගලයන් 32,252 දෙනෙකු විපතට පත්ව ඇති අතර නිවාස පූර්ණ හානි 86ක් හා අර්ධ හානි 2297 ක් වාර්තා වී ඇත. මන්නාරම් නගරයේ සහ නානාට්ටාන් ප්‍රදේශයන්හි පවුල් 39 කට අයත් පුද්ගලයන් 141 දෙනෙකුද වව්නියාව දිස්ත්‍රීක්කයේ පවුල් 155 කට අයත් පුද්ගලයන් 521 දෙනෙකු ද යාපනය දිස්ත්‍රීක්කයේ මරදන්කේනි ප්‍රදේශයේ 4257 කට අයත් පුද්ගලයන් 12,642 දෙනෙකු ද විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තා හෙළි කරයි.