தமிழ்
English
Contact
Sunday 15th August 2021    
කොතලාවල පනතට විරෝධය පළ කළවුන් දඩයම නවතනු! - විශ්ව විද්‍යාල ආචාර්ය සම්මේලනය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොතලාවල පනතට විරෝධය පළ කළවුන් දඩයම නවතනු! – විශ්ව විද්‍යාල ආචාර්ය සම්මේලනය



අගෝස්තු 3 වැනිදා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතා දැක්වූවන් පසුපස ක්‍රියාත්මක වන දඩයමක් පිළිගුලෙන් හෙළා දකින බව විශ්ව විද්‍යාල ආචාර්ය සම්මේලනය පවසයි.

බත්තරමුල්ල පොල්දූව මන්සන්ධියේ සිට පාර්ලිමේන්තු මාර්ගයේ පැවති විරෝධතාවකදී විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජනය ලබා දුන් ආචාර්ය මහිම් මෙන්ඩිස් ඇතුළු විරෝධතාවට සහභාගිවූවන් 15 දෙනකු පොලිසිය විසින් දඩයම් කිරීම සිදුවන්නේ කුලී හමුදාවක ස්වරූපයෙන් බව පවසන එම සම්මේලනය, මෙම තත්වය වැළැක්වීමට ජනතාවගේ සහාය ඉල්ලා සිටී.

එම සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි විසින් නිකුත්කර ඇති මෙම නිවේදනය සහ මහජනයා වෙත කෙරෙන ආයාචනය පහත පළ වේ.

මාධ්‍ය නිවේදනය: ආචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු ක්‍රියාකාරිකයන් දඩයම නවතනු!

රජයේ මෙහෙයවීම මත ‘පාලක කල්ලියේ පෞද්ගලික කුලී හමුදාවක්’ ලෙස ක්‍රියා කරන ශ්‍රී ලංකා පොලිසිය හික්මවීමට මැදිහත් වන ලෙස සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව වෙත කෙරෙන ප්‍රසිද්ධ ආයාචනය.

කොවිඩ් වසංගතය මධ්‍යයේ; නිදහස් අධ්‍යාපනයටත්, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ තිර පැවැත්මටත් අනර්ථකාරී ලෙස බලපවත්වන අණපනත් ගෙන ඒමට ආණ්ඩුව ගන්නා ප්‍රයත්නය, සිය සමාජීය වගකීම ඉටු කිරීමෙහි නිරත සියලු ම පාසැල් ගුරුභවතුන්, සරසවි ආචාර්යවරුන් හා සිසුන් මේ නිශ්චිත මොහොතේ ඉටු කරන වගකීම් සහගත මැදිහත්වීම විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නොමඳ ආචාරයට බඳුන් වේ. කොතලාවල පනත හා ගුරු-විදුහල්පති අර්බුදය හමුවේ සිය සමාජීය වගකීම් භූමිකාව ඉටුකරන තද් ක්‍රියාධරයන් මර්දනය කරන ප්‍රයත්නයකට ආණ්ඩුව ප්‍රවේශ වී ඇත. ශිෂ්ට හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මහජන ආරක්ෂාව තහවුරු කළ යුතු වගකීම් දරන පොලිසිය, ආණ්ඩුව විසින් සිය මර්දන යන්ත්‍රයක් ලෙස භාවිත කරමින් සිටින බව අප සම්මේලනයේ නිසැක නිරීක්ෂණය යි.

මේ සඳහා පෙන්වා දිය හැකි ප්‍රශස්ත නිදසුනක් නම්, පසුගිය අගෝස්තු මස 03 වැනි දා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙ නියෝජනයක් ද සහිත ව කොතලාවල පනතට එරෙහි ව සංවිධානය කෙරුණු පාගමන සහ රැස්වීම යි. මෙකී විරෝධතා පාගමන වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක සහභාගීත්වයෙන් සැදුම්ලැබ තිබිණ. පාගමන අවසානයේ සංකේතාත්මක ලෙස මිනීපෙට්ටි ආදර්ශයක් ගිනි තැබීම සහ වැළක්විය නොහෙන ලෙස මාර්ග බාධක කීපයක් පෙරලා දැමීම වැනි සුලබ ක්‍රියාමාර්ග ගැනුණු අතර එම ප්‍රයත්නය බිහිසුණු ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ප්‍රතිඅර්ථකථනය කර ඇති ශ්‍රී ලංකා පොලිසිය, අප සංගමය එදින නියෝජනය කළ ආචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු ක්‍රියාධරයන් 15 දෙනෙකු දඩයම් කිරීමේ ප්‍රයත්නයකට එලඹ සිටියි. නිරෝධායන නීති කඩකිරීම සහ පොදු දේපල හානි කිරීම නම් චෝදනා එම පිරිස වෙත ගොනු කරන පොලිසිය ඉතා අප්‍රසන්න-කුලීකාර භූමිකාවකට හාස්‍යජනක ලෙස ප්‍රවේශ වී ඇත. මෙම පදනම දැඩි පරස්පරයක් සේ මතු වන ලෙස තීරණ රැසක් රජය ගෙන ඇත. ආණ්ඩුවේ දේශපානඥයන්ගේ මැදිහත්වීමෙන් සිදුවන උත්සව හා මහජන ඒ්කරාශී කිරීම්වල දී ද රැකියාවකට යාමට බල කෙරෙන තත්වයක් තුළ පොදු ප්‍රවාහන සේවාවල එකිනෙකා තෙරපී ගමන් ගන්නා අවස්ථාවල දී ද වෙනත් මහජන ඒ්කරාශීවීම්වල දී ද ඇස්කන් පියා බලා සිටින පොලීසිය, මහජන සුබසිද්ධිය උදෙසා ඉතා අසීරු තත්වයන් යටතේ පවත්වන විරෝධතාවල දී පමණක් නිරෝධායන නීති අධිනිශ්චය කිරීම අපි අප්‍රසාදයෙන් හෙලා දකිමු.

අනාදිමත් කාලයක සිට නොවිසඳුණු මහ බැංකු කොල්ලයේ සිට රජයේ දේපල වංචා සම්බන්ධව කිසිදු වරදකරුවෙකුට දඬුවම් දී නැති තත්වයන් තුළ, මාර්ග බාධක කීපයක් බිම වැටීමත් පාරේ තාර ස්වල්පයක් උණුවීමත් මහා පරිමාන පොදු දේපල හානියක් ලෙස හුවා දක්වමින් ක්‍රියාකරීන් සිරගත කිරීමට දක්වන උත්සාහය ද අපගේ බලවත් පිළිකුලට බඳුන් කරමු. මහජන විරෝධතාවක දී සිදු වූ සුලබ සහ සුළු සිදුවීම් සුවිශාල ව්‍යසනයක් ලෙස දැක්වීම අපි ප්‍රතික්ෂේප කරමු.

මෙම අයුක්ති සහගත, මර්දනකාරී සන්දර්භය තුළ අප සමිති සම්මේලනය දෘඩ ආයාචනයක් කර සිටිමු. සමස්ත ලාංකේය ජනතාව, නීතිය හා බැඳුණු ප්‍රජාව, සිවිල් හා බහුජන සංවිධාන ජාලය, මානව හිමිකම් පිළිබඳ ක්‍රියාධරයන්, වෘත්තීය සමිති, නිදහස් මාධ්‍ය සංවිධාන සහ අන්‍ය සියලු සංවිධාන ව්‍යූහ වෙත අපගේ මේ ඉල්ලීම යොමු වේ. එනම් වත්මන් පාලක රෙජීමයේ පෞද්ගලික අවශ්‍යතාව මත ක්‍රියාත්මක අද්‍යතන ශ්‍රී ලංකා පොලිසිය, මහජන ආරක්ෂාව සමස්ත ලෙස බාරගත් ශිෂ්ට ආචාරධාර්මික ආයතනයක් ලෙස පරිවර්තනය කර ගැනුම නම් ජාතික අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රබල ලෙස මැදිහත් වන ලෙස ය.

කොතලාවල පනත ඉවත්කර ගැනීම සහ ගුරු-විදුහල්පති අර්බුදය වහාම විසඳිය යුතු ය. එහෙත් ඒ වෙනුවට රටෙහි ව්‍යවස්ථාවෙන් පවා සහතික කළ මහජන අයිතියක් වන සාධාරණ මහජන විරෝධතා අයථා ලෙස මර්දනයට ඉදිරිපත් වීම යනු ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වයට ද අහිතකර ලෙස අදාළ වියහැකි බවට අපි අනතුරු අඟවා සිටිමු.

රොහාන් ලක්සිරි
ලේකම්