தமிழ்
English
Contact
Sunday 1st August 2021    
කොතලාවල පනත හරහා අධ්‍යාපන පෞද්ගලිකකරණ හා මිලිටරිකරණ උත්සාහය පරාජය කරනවා - ආචාර්ය මහිම් මෙන්ඩිස් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොතලාවල පනත හරහා අධ්‍යාපන පෞද්ගලිකකරණ හා මිලිටරිකරණ උත්සාහය පරාජය කරනවා – ආචාර්ය මහිම් මෙන්ඩිස්



කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල නව පනත් කෙටුම්පත සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම පිණිස විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය(FUTA) සහ මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් පෙ.ස.ප. සමඟ සාකච්ඡාවක නිරත වූහ.

ඊයේ(31) පැවති මෙම සාකච්ඡාව සඳහා, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සහ මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය නියෝජනය කරමින් මහීම් මෙන්ඩිස්, කුමුදුනී සැමුවෙල්ස්, කෞෂල්‍යා ප්‍රනාන්දු යන විශ්ව විද්‍යාල ආචාර්යවරු සහභාගි වූහ. මෙහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් චමීර කොස්වත්ත, රවීන්ද්‍ර මුදලිගේ, පුබුදු ජයගොඩ සහභාගී වූහ.

නුගේගොඩ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයේදී පැවැත්වුණු එම සාකච්ඡාවේදී කොතලාවල පනතට, අධ්‍යාපනය පෞද්ගලීකරණයට, රටේ විවිධ ක්ෂේත්‍ර ගොදුරු කර ගනිමින් යන මිලිටරීකරණයට එරෙහිව එක්සත් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ එකඟතාවක් ඇති වූ බව සාකච්ඡා අවසානයේදී මාධ්‍යවේදින් වෙත කරුණු දක්වන ලදී.

ආචාර්ය මහිම් මෙන්ඩිස් ප්‍රකාශ කළේ පොදු ජනතාවට පීඩාකාරී ලෙස ප්‍රතිඵල ගෙන දිය හැකි අධ්‍යාපනයට බාධාකාරීවන කොතලාවල පනත් කෙටුම්පතට තමන් සපුරා විරුද්ධ බව එහිදී පෙ.ස.ප. ඇතුළු දේශපාලන පක්ෂත් හා ශිෂ්‍ය ව්‍යාපාරය හා වෙනත් බහු ජනතා සංවිධානත් සමඟ එක්ව එය පරාජය කිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරු එක්වන බව ආචාර්ය මහිම් මෙන්ඩිස් ප්‍රකාශ කළේය. මිලිටරි අධ්‍යාපනික වැඩසටහන් වර්ධනය කිරීම එම වෘත්තියට අදාළව සිදු කළ යුතු බව පිළිගනිමින්ම මෙම නව පනත හරහා ජනතාවගේ අධ්‍යාපන අයිතින් උදුරාැගනීමට හෝ සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියට මිලිටරිකරණය ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියාකරන බව ඔහු පැවසීය. ඒ උත්සාහය හරහා ආඥාදායකත්වයක් හා මර්දනකාරී තත්වයක් ගෙන ඒමට දරණ උත්සාහය වහාම පරාජය කළ යුතු බව ආචාර්යවරයා පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත් වූ පාලනයක් ලෙස ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති ආකාරයෙන් මිලිටරිකරණ වැඩපිළිවෙළක් ගෙන ඒමත් අධ්‍යාපනයට මිලිටරිකරණය ඇතුලු කිරීමත් සිදුවන නිසා ඊට විශ්වවිද්‍යාල ආචාරය්වරුන් ලෙසත් රටේ වැසියන් ලෙසත් විරෝධය පළකරන බව ඔහු අවධාරණය කළේය.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කළත් නැතත් ප්‍රජාතාන්ත්‍රික අරගලයකින් මෙම පනත පරාජය කරන්නට කටයුතු කරන බව ඔහු පැවසීය. අධයාපන පෞද්ගලිකකරණ අරමුණකින් කොතලාවල ඇකඩමියේ පැටව් ගැසීමක් සිදුකරන්නට කටයුතු කරනවා නම් ඊට ජනතාව එකඟ නොවනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය. කෙසේවෙතත්, විරෝධතා නොසළකා ආණ්ඩුව මේ අන්දමට අධ්‍යාපනය පෞද්ගලිකකරණය හා මිලිටරිකරණය කිරීමට දරණ ප්‍රයත්නය පිළිකුළින් යුතුව හෙළා දකින බව ඔහු කියා සිටියේය.