පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි විසින් ඊයේ (11) පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නව සාමාජිකයන් ප්‍රකාශයට පත්කර තිබේ.
2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමත් සමග පාර්ලිමේන්තු කාරක සභා සියල්ල අහෝසි වූ බැවින් කෝප් කමිටුව ඇතුලු පාර්ලිමේන්තු කමිටු යළි නම්කළ යුතුව තිබේ. ඉන්පසු නැවත රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දිවුරුම් දීමත් සමග වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන කෝප් කමිටුව සඳහා මෙම සාමාජිකයන් පත්කර තිබේ.
ඒ අනුව සාමජිකයන් 16 දෙනෙකුගෙන් සමන්විත කෝප් කමිටුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පත්වන මන්ත්‍රිවරු ලෙස රාවුෆ් හකීම්, සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, වසන්ත අළුවිහාරේ, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, ආචාර්ය හර්ෂ ද සිල්වා, රවීන්ද්‍ර සමරවීර යන මන්ත්‍රීවරුන්ද එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රසිරි ගජධීර, මහින්දානන්ද අළුත්ගමගේ, දයාසිරි ජයසේකර, ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන්ද පත්කර ඇති අතර දෙමළ ජාතික සන්ධානයෙන් මාවෙයි සේනාධිරාජා සහ ජනතා විමුක්ති පෙරමුණෙන් සුනිල් හඳුන්නෙත්ති යන මන්ත්‍රීවරුන් නම්කර ඇත.
කෝප් කමිටුවේ සභාපතිවරයා පත් කිරීම කෝප් කමිටුව රැස්වන පළමු දිනයේදී සිදු කිරීමට නියමිතය. පෙර කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා නැවත එම තනතුරු පත් කෙරේදැයි කුතුහලයක් ඇතිව තිබේ.