Posted on 11.25.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) පසුගිය දිනවල දිවයිනේ ස්ථාන කිහිපයක ද්‍රව වායු ගෑස් සිලින්ඩර් භාවිත කිරීමේදී සිදුවූ අනතුරුවලට හේතුව ද්‍රව වායු ගෑස් සංයුතිය වෙනස් කර අධික ලාභ ලැබීමට ගත් උථ්සාහයන් බව අනාවරණය වේ.
රජයේ රස පරික්ෂක වාර්තාව අනුව මෙසේ ගෑස් පිපිරී ගිනිගැනීම සිදුව ඇත්තේ සිලින්ඩර්වලින් ගෑස් කාන්දු වී ඇති නිසාය. එසේ ගෑස් කාන්දුවන්නට හේතුව සිලින්ඩර්වල මෙතෙක් පැවති සංයුතියේ වෙනස්කම බවද අනාවරණය වී ඇත.
පසුගියදා කොළඹ, වැලිගම සහ මහනුවර ප්‍රදේශවල සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් කාන්දුවක් බවට රජයේ රස පරීක්ෂක වාර්තාවලින් පසුව තහවුරු විය. ගෑස් සිලින්ඩර කාන්දුවීම් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර නොගැනීම සම්බන්ධයෙන්ද විවේචන එල්ල වේ.
මේ සම්බන්ධව පාරිභෝගික අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන කළ ප්‍රකාශයක් ආන්දෝලනයට හේතු විය. ඔහු කියා සිටියේ මෙම පිපිරීම් සඳහා විය හැකි හේතුවක් වන්නේ වායුවේ සංයුතිය වෙනස් වීම බවයි. සාමාන්‍ය ප්‍රමිතිය අනුව ගෘහස්ථ පරිභෝජනය සඳහා යොදාගන්නා ගෑස්වල අඩංගු විය යුතු බියුටේන් 80% ක් සහ ප්‍රොපේන් 20% ක් විය යුතුය. නමුත් ගෑස් සමාගම් විසින් සංයුතිය, බියුටේන් සහ ප්‍රොපේන් 50% දක්වා වෙනස් කිරීමට ඒකපාර්ශ්විකව තීරණය කළ බව ඔහුගේ චෝදනාව විය.
තවදුරටත් ඔහු පවසා තිබුණේ මෙය සමාගම්වල වරදකට වඩා ප්‍රමිති අංශයේ නොසැළකිලිමත්කමක් බවය.
“අවාසනාවකට, බලධාරීන් ඇස් පියාගෙන සංයුතිය තීරණය කිරීමට ගෑස් සමාගම්වලට ඉඩ දෙන තත්වයක් අපට හමු වී තිබේ. බොහෝ විට මෙය ලාභ ඉපයීම සඳහා මිස පාරිභෝගිකයෙන්ගේ අභිවෘද්ධිය සඳහා නොවේ. වර්තමාන සංයුතිය ශ්‍රී ලංකාවට නොගැලපෙන බවට මට දැඩි සැකයක් ඇත.”
නමුත් පසුව, ලිට්රෝ සමාගම පාරිභෝගික අධිකාරියේ චෝදනා ප්‍රතික්ෂේප කන ලදී. කෙසේවුවද රජයේ රසපරික්ෂක වාර්තා මෙන්ම වරින්වර පාරිභෝගිකයන් කළ පැමිණිලි අනුව, ගෘහස්ත පරිභෝජනය පිණිස වෙළඳපොළට පැමිණෙන ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් ඇති බව සනාථ වේ. පසුගිය දිනවල ගෑස් හිඟයට හේතුව වන්නේද නිසි ප්‍රමිතිය වෙනුවට කළ ප්‍රමිති වෙනස්කම් සඳහා පියවර ගැනීම හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලියේ සිදුවූ ප්රමාදයන්දැයි අනුමාන කළ හැකිය.