Posted on 12.21.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගිය කාලයේ සිදුවූ ගෑස් අනතුරුවලට මූලික හේතුව ගෘහස්ත වශයෙන් භාවිත කරන සිලින්ඩරවල අඩංගු ගෑස්වල සංයුතිය වෙනස් කිරීම බව, ඒ පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ තාක්ෂණ කමිටුව අනාවරණයකර තිබේ.
මේ ආකාරයෙන් සිලින්ඩරවල ගෑස් සංයුතිය වෙනස් කර ඇත්තේ නිසි නියාමනයකින් තොරව බව විමර්ශනයේ දී හෙළි වූ බවට එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී මහාචාර්ය වල්පොල පෙන්වා දුන්නේ ගෑස් නිෂ්පාදනය නියාමනය සඳහා මහජන උපයෝගිතා කොමිසම වැනි ආයතනයක් වහාම ප්‍රතිස්ථාපනය කළ යුතු බවය.
මේ වනවිට ප්‍රොපේන් හා බියුටේන් මෙන්ම ගෘහස්ත ගෑස් සඳහා භාවිතා කෙරෙන අනෙක් සංයෝග ද වෙන වෙනම ආනයනය කළ විට ඒවා මිශ්‍ර කර ගැනීම සඳහා ලිට්රෝ ගෑස් සමාගමටතාක්ෂණික හැකියාවක් නැති බැවින් වහා ම තාක්ෂණය හඳුන්වා දිය යුතු බවත් එම විද්වත් කමිටුව නිර්දේශ කර ඇත.
මේ අනුව, රජයේ ගෑස් සමාගම ලෙස ලිට්රෝ ගෑස් සමාගම වෙනුවෙන්, කාර්මික තාක්ෂණ ආයතනයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන ‘තත්ත්ව ආරක්ෂණ රසායනාගාරයක්’ වහා ආරම්භ කළ යුතු බවට තම කමිටුව නිර්දේශ කළ බව ද මහාචාර්ය වල්පොල මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.