Posted on 12.15.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට ගෘහස්ත අනතුරුවලට හේතු වී ඇති ගෘහස්ත ගෑස් සිලින්ඩර් සම්බන්ධ ප්‍රමිතියක් ඇති කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අභියාචනාධිකරණය විසින් එම සමාගම්වලට දැනුම් දී ඇත.
විශේෂයෙන්ම ගෘහස්ත පරිභෝජනයට ගන්නා සිලින්ඩරයක අඩංගු කළ හැකි සංයුතිය කුමක්ද යන්නත් එම සංයුතිය සිලින්ඩරයේ සඳහන් කිරීමේ හැකියාව පිළිබඳව අද(15) අභියාචනාධිකරණයට දැනුම් දීමට ලිට්රෝ ගෑස් සමාගමට කල් ලබා දීමට අවස්ථාව දී ඇත.
මේ අධිකරණ නියෝගය නිකුත්කර ඇත්තේ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ රිට් පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී ය. අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර ආනයනය කර බෙදා හැරීමට කටයුතු කළ ගෑස් සමාගම් සහ වගකිව යුතු රජයේ බලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස නියෝග කරන්නැයි ඔහු පෙත්සමක් මගින් ඉල්ලා සිටියේය.
ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ සිද්ධිකා සේනාරත්න, වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන්නැයි පොලිස්පතිට නියෝග කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා තිබිණි.
විවෘත නොකළ ගෑස් සිලින්ඩර නැවත කැඳවීමට සහ ගෑස් සිලින්ඩරය ක අඩංගු කළ හැකි ගෑස් සංයුතිය කුමක්ද, එම සංයුතිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය හැකි ද යන්න පෙත්සම අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල වගඋත්තරකාර පාර්ශවයෙන් විමසා සිටියේ ය.
එසේ එකඟතාවට පැමිණෙන්නේ නම් පෙත්සම මගින් ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවන බව විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේය.
එහිදී පාරිභෝගික කටයුතු අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය සහ ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර සදහන් කළේ විවෘත නොකෙළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නැවත කැඳවීමට මේ වන විටත් කටයුතු කර ඇති බව ය.
අධිකරණය යෝජනා කළ සෙසු කරුණු සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී සහතිකයක් ලබා දිය නොහැකි අතර එම කරුණු ඉටු කිරීමට ඇති ප්‍රායෝගික හැකියාව පිළිබඳව අදාළ සමාගමෙන් උපදෙස් ලබා ගත යුතු බැවින් ඊට කල් දෙන ලෙස ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර සඳහන් කළේය .
එහිදී ලාෆ් හෝල්ඩින්ග් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ලාෆ් ගෑස් සිලින්ඩර වල සංයුතිය වෙනස් කර නැති බවත්, එම සිලින්ඩර නැවත කැඳවන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියෙන් තමාට කිසිදු දැනුම් දීමක් ද නොකළ බවය.