Posted on 04.30.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට, ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට සහ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුට එරෙහිව දූෂණ චෝදනා යටතේ පවරා තිබෙන ඇවන්ට් ගාඩ් නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජුලි මස 11වැනිදා දක්වා කල් තබා තිබේ.
එසේම මෙම නඩුවට අදාලව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයේ විභාග වූ අතර එහි තීන්දුව ලබන ජූනි මස 14 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
එතෙක් මෙම නඩුවේ විභාගය අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්කර ඇති බවත් එබැවින් මෙම නඩුවේ විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසට ඉදිරිපත් වූ ඉල්ලීම අනුව නඩු විභාගය කල් තබා තිබේ.
2012 – 2015 ජනවාරි මස මුල් කාලය තුළ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට ගාලු වරායට අයත් මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙනයාමට අනුමැතිය ලබාදීම තුළින් රජයට රුපියල් බිලියන 11.4ක පමණ පාඩුවක් සිදුකළ බවට අල්ලස් හා දූෂණ කොමිසම මගින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට, ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට සහ තවත් පිරිසකට චෝදනා එල්ල කර ඇත.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ හිටපු නාවික හමුදාපතිවරුන් වන සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ සහ ජයන්ත පෙරේරා යන ලෙස නම් කර තිබේ.