‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ තීරු ලිපි රචකයකු ලෙස වසරක් පමණ් කටයුතු කළ ජමාල් ඛෂොගි (1958.10.13–2018. 10 .02) පසුගියදා තුර්කියේ පිහිටි සෞද් අරාබි කොන්සල් කාර්යාලයේදී මරා දමනු ලැබිණි.
ධනවත් හා බලවත් සෞදි පවුලක සාමාජිකයකුව ඉපිද සෞදි රජ පවුලේ උපදේශකයකු ලෙසද හිද සිටි ඔහු ප්‍රගතිශීලි පුවත්පතක සේවය ආරම්භ කළේය. සිය පළමු මාධ්‍ය ආයතනයේදීම එරට ආගමික නායකත්වය විවේචනය කිරීම නිසා ඔහු ඉවත් කරන ලදී. පසුව සෞදි අරාබි පාලනය විවේචනය කිරීම නිසා උදහසට ලක්වූ හෙතෙම සියරටින් විප්‍රවාසිකව ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුලින්ම ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියට තර්ජනය කලේ ආර්ථික සම්බාධක පනවන බව පවසමිනි. එහෙත් ඊට ප්‍රතිචාර ලෙස සෞදි රජය කීවේ තමන්ට සම්බාධක පැනවුවහොත් එක්සත් ජනපද ආර්ථිකය වෙත සියදිවි නසාගැනීමක් බවට පත් කරන බවය. එයින් පසුව ට්‍රම්ප් තරමක් ප්‍රවේශමෙන් ගනුදෙනු බේරාගන්නා තැනට පත්ව තිබේ.
ඔහු වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අවසන් වරට ලියූ තීරු ලිපිය, පුවත්පතට ලැබෙන විට ඔක්තෝබර් 2වැනිදා තුර්කියේදී ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ලෝකය කම්පාවට පත්ව තිබිණි. ඔහු පිළිබද කිසිවක් දැනගන්නා තුරු එම තීරු ලිපිය පළ නොකරන්නට වොෂින්ටන් පෝස්ට් ආයතනය තීරණය කර තිබිණි. එහෙත් ඛෂොගි ඝාතනයට ලක් වූ බව නිශ්චිත වශයෙන්ම අනාවරණය වීමෙන් පසුව, ඔක්තෝබර් 17 වැනිදා එය පළ කරණ ලදී. අප ‘ලංකාවිව්ස්‘හි එම තීරු ලිපිය පරිවර්තනය කර පළ කරන්නේ එම අදහස් සම්බන්ධ විවාද සහිතව වුවද, සෞදි බලය විසින් කෘර ලෙස ඝාතනය කළ ඛෂෝගිගේ අදහස් පාඨකයන් වෙත අනාවරණය කිරීමේ අදහසිනි.
“අරාබි ලෝකයට වැඩියෙන්ම අවශ්‍ය වන්නේ අදහස් ප්‍රකාශනයේ නිදහසයි“
මම පසුගිය දවසක ‘ෆ්‍රීඩම්හවුස්‘ මගින් පළ කළ ‘2018 ලෝකයේ නිදහස‘ වාර්තාව අන්තර්ජාලය ඔස්සේ කියවූ පසුව කනගාටුදායක නිගමනයකට එළඹුනෙමි. අරාබි ලෝකය තුළ ‘නිදහස‘ ඇති රටක් ලෙස එහි නම්කර තිබුනේ එක රටක් පමණකි. ඒ ටියුනීසියාවයි. ජෝර්දානය, මොරොක්කෝව සහ කුවේටය ‘අර්ධ වශයෙන් නිදහස‘ හැදින්විම සහිතව දෙවැනි ස්ථාන හිමිකරගෙන තිබිණි. අරාබි ලෝකයේ සෙසු රාජ්‍යයන් ‘නිදහස නැති‘ වර්ගීකරණයට අයත් විය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඒ රටවල වාසය කරන අරාබි ජාතිකයෝ තොරතුරු දන්නේ නැත, නැත්නම් වැරදි තොරතුරු ලබන්නෝ වෙති. ඔවුන්ගේ දෛනික ජීවිතයටත් වාසය කරන කලාපයටත් බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට හෝ ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්නට ඔවුන්ට අවස්ථාවක් නොමැත. රාජ්‍ය විසින් ලබා දෙන කතන්දරයකින් මහජන මනස හසුරුවනු කරනු ලබයි. බොහෝ දෙනා ඒ කතන්දර විශ්වාස නොකළද ජනගහණයෙන් බහුතරයක් මේ ව්‍යාජ තොරතුරුවල ගොදුරු බවට පත් වෙති. කනගාටුවට කරුණ නම් මේ තත්වය වෙනස්වන තත්වයක්ද නොමැතිවීමයි.
2011 වසන්ත කාලයේ අරාබි ලෝකය අපේක්ෂාවලින් යුක්ත විය. ජනමාධ්‍යවේදින්, විද්වතුන් සහ සාමාන්‍ය ජනතාව තම තමන්ගේ රටවල දීප්තිමත් හා නිදහස් අරාබි සමාජයක් සම්බන්ධ අපේක්ෂා උතුරමින් සිටියහ. තම ආණ්ඩුවල හෙජමොයෙන් සහ නිරන්තරව සිදුව බලහත්කාරයන් මෙන්ම තොරතුරු වාරණයෙන් නිදහස ලබාගැනීමට අපේකෂා ඇතිව සිටියහ. මේ අපේක්ෂා ඉක්මනින් සුණු විසුනු වී ගියේය. මෙම සමාජයන් එක්කෝ පැරණි තැනටම ආපසු ඇද වැටුණු අතර අනෙක් ඒවා වඩාත් නරක තත්වයකට පත් විය.
මගේ ආදරණීය මිත්‍රයා, සම්භාවනවායට පත් සෞදි ලේඛක සලේ අල් ෂේහි, සෞදි පුවත්පත්වල මෙතෙක් පළ වූ හොදම තීරු ලිපියක් ලියමින් සිටියේය. සෞදි පාලනයට අහිතකර අදහස් ලියූ නිසා අවාසනාවකට ඔහු දැන් පස් අවුරුදු සිර දඩුවමක් විදිමින් සිටී. ඊජිප්තුවේ ‘අල් මස්රි අල් යූම්‘ පුවත්පතේ මුද්‍රිත සම්පූර්ණ පුවත්පත් තොගයක් ආණ්ඩුව භාරයට ගත් විට කිසිදු සහෝදර පුවත්පතක් ඒ සම්බන්ධව විරුද්ධවීම හෝ වෙනත් ප්‍රතිචාර දක්වා නැත. මෙම තත්වයට ජාත්‍යන්තර ප්‍රජාවගෙන්ද විවේචනාත්මක ප්‍රතිචාර දැක්වීමක් නැත. ඒ වෙනුවට එවැනි සිදුවීමක් හදිසියේ හෙළාදකිනු ලැබීමකින් පසුව ඉක්මනින් එළඹෙන නිහඩතාවයෙන් අවසන් වේ.
එහි ප්‍රතිපලයක් ලෙස, මාධ්‍ය නිහඩ කිරීමේ ක්‍රියාදාමය වේගවත් ආකාරයෙන් නිදහසේ කරගෙන යන්නට අරාබි ආණ්ඩුවලට හැකිව තිබේ. මුද්‍රිත මාධ්‍ය වෙත පනවනු ලබන මෙම වාරණය හා පාලනය අන්තර්ජාලය විසින් නිදහස් කරනු ඇතැයි ජනමාධ්‍යෙව්දින් විශ්වාස කළ කාලයක් තිබිණි. එහෙත් මෙම ආණ්ඩුවල පැවැත්ම රදා පවතින්නේ තොරතුරු පාලනය කිරීම මත බැවින් ඔවුහු දුෂ්ට ලෙස අන්තර්ජාලය අවහිර කළහ. එපමණක් නොව, ඇතැම් ප්‍රකාශනවලට බාධා පැමිණවීමට ඒවායේ වාර්තාකරුවන් අත්අඩංග්‍රවට ගැනීම හා දැන්වීම්කරුවන්ට බලපෑම් කිරීමද සිදුවේ.
අරාබි වසන්තයේ ආශ්වාදය පවත්වාගෙන යන ක්ෂේම ස්ථාන කිහිපයක් තිබේ. තොරතුරු පාලනය මගින් ‘පැරණි අරාබි පාලනය‘ පවත්වාගෙන යන්නට අසල්වැසි රටවල උත්සාහයන්ට සාපේක්ෂව කටාර් ආණ්ඩුව විදේශ පුවත්ආවරණයන්ට සහාය දක්වයි. මුද්‍රිත මාධ්‍ය ‘අර්ධ වශයෙන් නිදහස‘ උසුලන ටියුනීසියාවේ හා කුවේටයේ මාධ්‍ය අවධානයට ගන්නේ දේශීය කාරණා මිස සමස්ත අරාබි කලාපයටම බලපාන කාරණා නොවේ. සෞදි අරාබිය, ඊජිප්තුව හා යේමනය පදනම් කරගත් ජනමාධ්‍යවේදින්ගේ අදහස්වලට වේදිකාවක් සපයන්නට ඔවුන් පැකිලෙන බව පෙනේ. පුවත්පත් නිදහස සම්බන්ධයෙන් අරාබි ලෝකයේ කිරුළ දරණ ලෙබනනයද ඉරානයට සහාය දක්වන හිස්බුල්ලාවරුන්ගේ බලපෑමට ලක්වී ධ්‍රැවීකරණයක ගොදුරු බවට පත්ව ඇත.
අරාබි ලෝකය තමන්ගේම පන්නයේ යකඩ තිරයකට මුහුණ දී ඉන්නේ බාහිර කිසිවකුගේ ක්‍රියාවක් ලෙස නොව, බලය පවත්වාගෙන යාමේ අරමුණ ඇති දේශීය බලවේගවල මැදිහත්වීමෙනි. සීතල යුද සමය තුළ, වසර ගණනක ක්‍රියාකාරිත්වයෙන් තීරණාත්මක ආයතනයක් බවට පත් වූ Radio Free Europe, න්දහස පිළිබද අපේක්ෂා දැල්වීමේදී වැදගත් භුමිකාවක් ඉටු කළේය. එවැනි යමක් අරාබියට අවශ්‍ය වේ. 1967දී New York Time(නිව්යෝක් ටයිම්ස්) සහ The Post(වොෂින්ටන් පෝස්ට්) පුවත්පත් විසින් International Herald Tribune (ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන්) පුවත්පතේ ඒකාබද්ධ හිමිකාරත්වය දැරීය. එයින් ලෝකය පුරා හඩවලට වේදිකාවක් සකස් කර තිබිණි.
මගේ පුවත්පත Washington Post, මගේ රචනා බොහොමයක් පරිවර්තනය කිරීමට හා ඒවා අරාබි බසින් පළ කිරීමට මූලිකත්වය ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් මම කෘතඥ වෙමි. අරාබිවරුන්ට එක්සත් ජනපදයේ සහ බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ විවිධ පැති මෙන්ම එහි සංකීර්ණතා දැනගැනීමටත් සාකච්ඡා කිරීමටත් තමන්ගේම බසින් ඒවා කියවන්නට අවශ්‍ය වේ. ඊජිප්තුවාසියකු වොෂින්ටනයේ ඉදිකිරීම් ව්‍යාපෘතියක සැබෑ වියදම සම්බන්ධ ලිපියක් කියවන විට තමන්ගේම ජනසමාජයේ එවැනි ඉදිකිරීමක් සිදුවනවිට එහි තත්වය සම්බන්ධ අදහසක් ගන්නට ඔහුට හෝ ඇයට පුලුවන.
පැරනි පාරජාතික මාධ්‍යයන්හි නූතන මුහුණුවරක් අරාබි ලෝකයට අවශ්‍ය වන්නේ ලෝකයේ සිදුවීම් සම්බන්ධ පුරවැසියන්ට තොරතුරු දැනගත හැකි නිසාය. වඩා වැදගත් කාරණය නම් අරාබි කටහඩවලට වේදිකාවක් අවශ්‍යවීමය. දුප්පත්කම, අවකලමනාකරණය හා අවම මට්ටමේ අධ්‍යාපනයෙන් අපි පීඩා විදිමු. ජාතිකවාදී ආණ්ඩුවල ප්‍රචාරයෙන් පතුරුවන වෛරි සහගත බවින් නිදහස් වූ ස්වාධීන ජාත්‍යන්තර සංවාද සභාවකින් තමන්ගේ සමාජය මුහුණ දෙන ව්‍යුහාත්මක ගැටලු ආමන්ත්‍රණය කරන්නට අරාබි ලෝකයේ සාමාන්‍ය ජනතාවට හැකිවනු ඇත.
ජමාල් ඛෂොගි