Posted on 10.24.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආර්ථික සබඳතා අරමුණු කරගෙන අත්වැල් බැඳගන්නේ කවුරුන් සමගද යන්න ලංකාවේ බලධාරින් විසින් තීරණය කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් පවසයි.
“දීර්ඝකාලීනව ආර්ථික සංවර්ධනය පිළිබඳ කල්පනා කරනවා නම් අත්වැල් බැඳගන්නේ කවුරුන් සමගදැයි ‘දුෂ්කර එහෙත් අත්‍යවශ්‍ය තීන්දුවක්’ ගතයුතු බවට තමන් ලංකාවට බලකර සිටින බව” එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කලාපීය බියුරෝවේ ප්‍රධාන සහකාර ලේකම් ඩීන් ආර් තොම්සන් පවසා ඇත.
ඔහු පවසා ඇත්තේ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් තුළ ආර්ථික සංවර්ධනයේ ඉලක්ක පවත්වාගෙන යාමට ලංකාව හවුල්කරගන්නට තමන් අදහස්කරන බවය. තම දීර්ඝකාලීන මිත්‍ර රාජ්‍යයක් ලෙසත් කලාපීය වශයෙන් ඇති මැදිහත්වීමේ දුරදිග යන ඉලක්ක ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය විසින් ලබා දෙන තේරීම් සළකා බලන ලෙස ලංකාවට ධෛර්ය සපයන බව සහකාර ලේකම්වරයා පවසා ඇත. කලාපීය සාමුද්‍රික සහයෝගිතාව මෙහිදී ප්‍රධාන අංගයක් ලෙස රාජය දෙපාර්තමේන්තු සහකාර ලේකම්වරයා පෙන්වා දී ඇත. ලංකාවේ ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, සංහිඳියාව, ආගමික නිදහස සහ යුක්තිය සම්බන්ධ වර්ධනයන් අපේක්ෂා කරන බවද ඔහු එහිදී අවදාරනයකර ඇත.
මේ අදහස් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියකු විසින් ගෙන එන්නේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මේ මස අවසානයේ මෙරට රාජ්‍යතාන්ත්‍රික සංචාරයකට පැමිණීම සම්බන්ධ ආන්දෝලනාත්මක තත්වයක් පවතින අතරතුරය.