Posted on 03.05.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අයවැය කතාවේදී යම් යම් සරල සහන හදුන්වා දෙමින් 2019 විසර්ජන පනත සහ අයවැය යෝජනාවල සම්බන්ධය දක්වන බරපතළ තත්වය වසන් කිරීමට ආණ්ඩුව උත්සාහ කර ඇතැයි දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබේ.
2019 වසර සදහා වන අය වැය යෝජනා ඇතුළත් අයවැය කතාව, මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද(05) පස්වරු 2.00 සිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
වසරේ පළමු මාස 3 සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමෙන් පසුව 2019 වසර සඳහා වන අයවැය අද මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙම අයවැය මැතිවරණයක් ඉලක්ක කරමින් සහන සහිතව ලබාදෙන අයවැයක් ලෙස විශ්ලේෂකයන් සදහන්කර ඇත. එහි නිදසුනක් ලෙස අයවැයෙන් එක් මැතිවරණ කොට්ඨාශයක් වෙනුවෙන් වෙන්කරන ප්‍රතිපාදන මුදල 2019 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 300 දක්වා වැඩි කර තිබේ.
සමස්තයක් වශයෙන් 2019 වසරේ වියදම් වෙනුවෙන් අයවැයෙන් රු. මිලියන 48,000 ක් වෙන් කර තිබේ. “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා“ ණය යෝජනා ක්‍රමය යටතේ මැතිවරණ කොට්ඨාස මට්ටමෙන් ජනතාවට සහන ණය යෝජනා දෙමින් මැතිවරණයකට සූදානම් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කියාවලිය නිසා මේ දක්වා ව්‍යවසායකයින් 30,000 කට වඩා ප්‍රතිලාභ ලබාගෙන ඇති බව පවසමින් මෙම වසරේ එය තවදුරටත් සිදුකරන්නට රු. මිලියන 60,000 ක් පමණ මුදා හැර තිබේ.
සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල ප්‍රසම්පාදන වටිනාකමින් අවම වශයෙන් සියයට 10 ක් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙනුවෙන් වෙන් කිරීමට යෝජනා කර ඇත.
රබර් අලූතින් වගා කිරීම සහ නැවත වගා කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් දෙගුණ කරමින් රුපියල් මිලියන 800ක් කිරීමට කටයුතු සූදානම් කර ඇත. මොරගහ කන්ද ජලාශයේ සිට ජලය හිඟ කලාපවලට ජලය ඛෙදා හැරීම සඳහා වයඹ මහ ඇළ, මිනිපේ සහ උතුරු මැද පළාත දක්වා දිවෙන ඇල මාර්ගයන් හි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා රු. මිලියන 12,000 ක් වෙන් කොට ඇත.
දැදුරු ඔය ව්‍යාපෘතිය, මැණික් ගඟ වාරි ව්‍යාපෘතිය හා මොරැන්න ජලාශ ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති 07 ක ජල මාර්ග හා ප්‍රධාන වැඩ නිම කිරීමට තව දුරටත් අතිරේක වශයෙන් රුපියල් මිලියන 2,410 ක් 2019 වසර සඳහා වෙන් කර ඇත. එසේම උතුරේ ජනයා ආකර්ෂණය කරමින් ප්‍රතිපාදන වෙන්කිරීමටද ආණ්ඩුව අමතක කර නැත. පේදුරුතුඩුව හා පේසාලේ නව ධීවර වරාය දෙකක් ඉදිකිරීමට, මණ්ඩතිව් හි නැංඟුරම්පලක් ඉදිකිරීමට රු. මිලියන 1,300 ක් වෙන් කිරීමෙ ඉන් එක් අවස්ථාවකි.
ප්‍රාථමික පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා රටේ සියලූම ග්‍රාමීය පාසල්වල ලමුන් සඳහා නොමිලේ කිරි වීදුරුවක් ලබා දීමට කටයුතු සැලසුම්කර ඇත. තෙමසක ප්‍රසූත නිවාඩු ලබා ගන්නා එක් අයෙකුට මසකට රු. 20,000 ක උපරිමකයට යටත්ව වැටුප් පිරිවැයෙන් සියයට 50ක් සමාගම් බද්දෙන් අතිරේක අඩු කිරීමක් ලෙස සැලකීමට යෝජනා කරන ලදී.
මේ අතරම ආණ්ඩුව විසින් මෙරට ශ්‍රම වෙළෙදපොළ නිදහස් කිරීමෙන් ශ්‍රම සූරාකෑම විධිමත් කිරීමට මෙරට කම්කරු නීති බල රහිත කිරීමේ අරමුණින් නම්‍යශීලී වැඩකරන වේලාවක් ඇති කිරීමට නිවසේ සිට වැඩ කිරීමටත් හැකි වන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට පියවර ගන්නා බව පවසයි.
සහනාධාර ක්‍රමවලින් ජනතාව අතරප්‍රසාදය ළගාකරගැනීමට ද ආණ්ඩුව උත්සාහ කරන බව පෙනී යයි. විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන රුපියල් 3000 මාසික දීමනාව මාසික දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කරන අතරම අඩු ආදායම්ලාභී පුද්ගලයින් 72000 කට එම දිමනාව ලබා දීමට කටයුතු කරයි.
නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙලෙන රෝගීන් 21,000 කට පමණ රු. 5,000 ක මාසික දීමනාවක් ලබාදෙමින් රජරට ගොවිජනයා අතර ප්‍රසාදය සදහා ආණ්ඩුව සැලසුමක් සකස් කර ඇත. එසේම නාගරික පැල්පත් නිවාසවල වාසය කරන්නන් වෙනුවෙන් පුනර්ජීවන ව්‍යාපෘතිය හා ආදර්ශ ගම්මාන වැඩසටහන යොදා ගන්නා අතර 2019 වර්ෂය සඳහා රු. මිලියන 24,500 වෙන් කරයි.
සංචාරක ආකර්ෂනය සදහා විවිධ සහන ලබාදීමට අයවැයෙන් යෝජනා ප්‍රකාශයට පත් විය. 2019 ජූනි මස 01 දා සිට බලපැවැත්වෙන පරිදි විදේශ සංචාරකයන් අතුරින් ශිෂ්‍ය අනන්‍යතාවක් සනාථ කළ පුද්ගලයන් හා අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ගෙන් ජාතික උද්‍යාන සහ සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන සඳහා අය කරන ඇතුළත් වීමේ ගාස්තුව සියයට 50 කින් අඩු කරයි. මේ අතර විදේශ විශ්වවිද්‍යාල ඉලක්ක කරමින් අධ්‍යාපන පෞද්ගලිකකරණය ආදර්ශයට ගැනීමේ වැඩසටහනක්ද යෝජනා කර තිබේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දී භෞතික විද්‍යා, ජීව විද්‍යා, තාක්ෂණය, වාණිජ හා කලා විෂයය ක්ෂේත්‍රයේ රටේ ඉහළම ප්‍රතිඵල පෙන්වනු ලබන්නන් සඳහා හාර්වර්ඩ්, MIT, ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වැනි ඉහළම ගණයේ විශ්වවිද්‍යාලවල උපාධි ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහා වන Scholarship for Educational Excellence- SEE අරමුදල දියත් කර ඇත. 2019 අගෝස්තු විභාගයේ ප්‍රතිඵල අනුව මෙම ශිෂ්‍යත්ව සඳහා ප්‍රථම කණ්ඩායම තෝරාගනු ලැබේ.
දැනට පවතින ත්‍රිරෝද ක්‍රමය වෙනුවට “Mini Taxi – Electric Three Wheeler “ණය යෝජනා ක්‍රමය මගින් ත්‍රී රෝද රථ හිමිකරුවන්ට සහනදායී ණය ලබා දීමට හා රජය විසින් ණය පොලියෙන් සියයට 75 ක් දරනු ලබන අතර දැනට භාවිතා කරන ත්‍රී රෝද රථ ඒ අනුව භාවිතයෙන් ඉවත් කළ යුතු වෙයි.
මාලඹේ-කොටුව සම්බන්ධ කෙරෙන කොළඹ නගරයේ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය 2019 වර්ෂයේදී ආරම්භ කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 5000 වෙන් කරයි.
රුවන්පුර අධිවේගී මාර්ගයේ කටයුතු 2019 වර්ෂයේදී ආරම්භ කරන්නට නියමිත වන අතර ග්‍රාමීය හා අනෙකුත් පාරවල් සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 10,000 ක් මාර්ග ඉදිකිරීම සඳහා වෙන් කර ඇත.
වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම් සළකමින් පහළ මට්ටමේ රජයේ නිලධාරීන්ගේ වැටුප 2015 දී රුපියල් 11,730 සිට 2020 දී රුපියල් 24,250 දක්වා වැඩි වනු ඇත. 2019 ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ සේවකයින්ට අන්තර්කාලීනව රුපියල් 2,500 ක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කරයි. මේ අතර විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා වන එම සංශෝධනය වෙනුවෙන් මෙම වසර සඳහා රුපියල් මිලියන 12,000 ක අමතර ප්‍රතිපාදන වෙන් කරයි. ඒ සමගම ත්‍රිවිධ හමුදාවේ කමාන්ඩෝ දීමනාව, නිල ඇඳුම් දීමනාව, ගෙවල් කුලී දීමනාව සහ යහපත් පැවැත්මේ දීමනාව 2019 ජූලි 1 දින සිට වැඩි කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කරයි.
රජයේ ක්‍රියාපටිපාටි ඩිජිටල්කරණය කිරීමට හා එය තවදුරටත් 2019 වර්ෂයේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 800 ට වැඩි ප්‍රතිපාදන වෙන් කර තිබේ.
රාජ්‍ය මූල්‍ය ඉලක්කයන් සමඟ නීතිමය වශයෙන් බැෙඳන පරිදිත් 2003 අංක 3 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සංශෝධනය කරනු ලබයි. සියලුම සමෘද්ධි ප්‍රතිලාභීන් හට අනිවාර්්‍යය ඉතිරි කිරීමේ ගිණුමෙන් රුපියල් 30,000 ක් දක්වා මුදලක් මෙම වසරේ අප්‍රේල් හා නෙවැම්බර් මාස දෙකේදී වාරික දෙකකින් සිංහල හින්ඳු අළුත් අවුරුද්ද හා නත්තල් උත්සවය සඳහා වූ ලාභාංශ වශයෙන් ආපසු ගැනීමට අවසර දීම සඳහා යෝජනා කර ඇත.
මේ වනවිට විශ්‍රාම වැටුප් කප්පාදුව සම්බන්ද විරෝධය ආණ්ඩුවේ අවධානයට ලක්ව ඇති අතර ඒ සදහා පවතින විරෝධය වෙනතක හැරීම සදහා “ජාතික විශ්‍රාම සැලැස්මක්“ හඳුන්වා දීමට කටයුතු කරන බව ආණ්ඩුව පවසයි.
අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවා ඔවුන්ගේ ගැටළු නිරාකරණය කරනතුරු අතුරුදන්වූවන්ගේ ඥාතින්ට මසකට රුපියල් 6000 ක දීමනාවක් එවැනි අයට ගෙවන්නට යෝජනා කර තිබේ.
මන්නාරම දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට පහසුකම් සැලසීම සඳහා යෝධ වැව පුනරුත්ථාපනය කරනු ලබයි.
උතුරු නැගෙනහිර පළාත්වල දැනටමත් ඉදිකර ඇති නිවාස සහ අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාස හෝ විනාශ වූ නිවාස සඳහා ජලය සහ විදුලිබලය වැනි පහසුකම් සැලසීමට රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇත. නියඟයෙන් පීඩාවට පත්වූ දිස්ත්‍රික්කවල පදිංචි ආසන්න වශයෙන් 45,000 ක් වූ කාන්තාවන් සඳහා ණය සහනයන් ලබා දී තිබේ.
උතුරු පළාත තුළ සංහිදියාව සුරක්ෂිත කිරීම සඳහාත් සහ තිරසාර ජීවනෝපාය මාර්ග ඇති කිරීම සඳහාත් වන අපගේ ප්‍රයත්නයන්, ජාතික සමගිය හා සංහිදියාව සඳහාවන කාර්යාලය හරහා දැනට ක්‍රියාත්මක වැඩසටහන් වන ,අතීතය සුවකරමින් අනාගතය ගොඩ නැගීම, යටතේ ක්‍රියාත්මක වන දැනුවත් කිරීමේ වැඩසටහන ,සහෝදර පාසැල් ,වැඩසටහන, හමුදා වැන්දඹුවන් සඳහා ක්‍රියාත්මක වන ,විරුලිය ශක්තිය, වැඩසටහන, සාමය සඳහා ක්‍රියාත්මක කරනු ලබන සංස්කෘතික – කලා සහ ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන් වැනි වැඩපිළිවෙලවල් හරහා තව දුරටත් සවිබල ගන්වනු ඇත.
මේ අතර නෙලුම්පොකුණ රගහල ව්‍යාපෘතියට සමගාමීව කඩාදමනු ලැබූ ජෝන් ද සිල්වා රගහල හා කලාභවන සම්බන්ධ කලාකරුවන්ගේ විරෝධතාව ආණ්ඩුවේ අවධානයට ලක්ව තිබේ. ඒ අනුව, නව අංශයකින් යුතුව ජාතික කලා භවන සංවර්ධනය කරන්නට ප්‍රතිපාදන වෙන්කර කලාකරුවන්ගේ නිර්මාණ ආරක්ෂණය සඳහා වැඩපිළිවෙලක් හා ඒ තුළින් අඛණ්ඩ ආදායමක් ලැබෙන ක්‍රියාපටිපාටියක් ක්‍රියාත්මක කරණ බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පවසයි.
පුද්ගලයකු සඳහා ගුවන්ගතවීමේ /නැව් නැගීමේ ගාස්තු ඇමරිකානු ඩොලර් 10 ක් වශයෙන් සංශෝධනය කරමින් එසේ වැඩිකරන ගාස්තු 2019 අප්‍රේල් මස 01 දින සිට ඒකාබද්ධ අරමුදලට බැර කරන්නට යෝජනා කරයි. සියළු ණය කාඩ්පත් හා බැර කාඩ්පත් භාවිතයෙන් කරනු ලබන විදේශ ගෙවීම් සඳහා වන මුද්දර ගාස්තු වෙනුවට සියයට 3.5 ක ජාතිය ගොඩනැගීමේ බද්දක් හඳුන්වා දෙනු ලැබේ.
2016 වසරේ සිට සංශෝධනය කොට නොමැති සියලූම ගාස්තු හා අය කිරීම් සියයට 15 ක් වැඩි කිරීමට කටයුතු කරයි. 2019 අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්ය බහුල වේලාවන් සඳහා වූ අධිවේගී මාර්ග ගාස්තු රුපියල් 100 කින් වැඩි කරයිමේ ආකාරයෙන් මුදල් ඇමති මංගල සමරවීර ඉදිරිපත් කළ අයවැය කතාව පස්වරු 4.30ට පමණ අවසන් විය.