ජනාධිපතිගෙන් බොරු පොරොන්දු – කේපාපිලව් වැසියෝ තම ඉඩම් ඉල්ලා තවදුරටත් විරෝධතාවයේ

පසුගිය දෙසැම්බර් 31 වනදාවනවිට උතුරේ සියලු ඉඩම් නිදහස් කරන බවට වූ ජනාධිපතිගේ පොරොන්දුව ඉෂ්ඨ නොකිරීමට විරෝධය පා කේපාපිලව් ජනතාව පසුගියදා(26) කේපාපිලව් යුධ හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. එසේම තම ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලමින් එම ජනතාව සිදු කරන අරගලයට මේවනවිට දින 700ට වඩා ගතව තිබේ.

උතුරේ හමුදා පාලනයේ පවතින සියලු ඉඩම් 2018 දෙසැම්බර් 31 වන විට නිදහස් කරන්න යැයි ජනාධිපති නියෝග කළ බව 2018 ඔක්තෝබර් මාසයේදී ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදනය කර තිබුණි. එහෙත් එම කාලය පසු වී සති ගණනක් පසුව ඇතත් මේවනතුරු ඉඩම් නිදහස් කර නොමැති බව විරෝධතාවයේ නිරත කේපාපිලව් ජනතාව පවසයි.

මෙම ජනතාවගේ අරගලය හමුවේ 2017 දෙසැම්බර් මාසයේදී ඉඩම් අක්කර 133ක් නිදහස් කර ගැනීමට සමත් වුවද 2018 දෙසැම්බර් වන විටත් තවත් අක්කර 349ක් තවමත් හමුදාව බාරයේ පවතී. මේ හේතුවෙන් එම ජනතාවගේ ගොවිතැනින්, සත්ව පාලනයෙන් සහ ධීවර කටයුතුවලින් ජීවත්වූ ජනතාවගේ ජීවනෝපායන මාර්ග අහිමිව තිබේ.

නමුත් පසුගියදා(21) ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ජනාධිපතිවරයාගේ නියෝග පරිදි ශ්‍රී ලංකා හමුදාව තමන් බාරයේ තිබූ සියයට 90 ක ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර අවසන් බවයි.

පසුගිය කාලයේ ඉඩම් කොටස් වශයෙන් සුළු ප්‍රමාණයක් නිදහස් කළද තවත් විශාල ප්‍රමාණයක ජනතාවගේ ඉඩම් හමුදා බාරයේ පවතියි. ජනාධිපතිවරයා වග විභාගයකින් තොරව සියයට 90 ක් ඉඩම් නිදහස් කළ බව පවසන්නේ දේශපාලන වාසි තකා මිස ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් නැත.

Sithara Sajeewani :