Posted on 04.28.2019 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
කම්කරුවන් මර්දනය කිරීමේ සහ විශේෂයෙන් ජාත්‍යන්තර කම්කරු දිනය තහනමට ලක්කිරීමේ අපකීර්තිමත් ඉතිහාසයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවලට ඇත්තේ කිසිවකට නොදෙවෙනි ඉතිහාසයකි. 1980 වැඩ වර්ජනයේදී දහස් ගණනක් කම්කරුවන් සාධාරන අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තිය අරගලය තෝරාගනිද්දී ඔවුන් කනත්තට යවන්නට වහසි බස් දෙඩුවේ එ.ජා.ප. ආණ්ඩුවේ ඇමති ලලිත් ඇතුලත්මුදලි විසිනි. වර්ජකයන් දහස් ගණනක් රැකියාවෙන් පලවා හරින ලද අතර එයින් ඇති වූ ආර්ථික හා සමාජ පීඩාවන් සිය ගණනක් වර්ජක කම්කරුවෝ සිය දිවිනසාගත්හ. ඉන්පසුවද එ.ජා.ප. ආණ්ඩු කම්කරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට තෝරාගත්තේ මර්දනයමය. 1987 කම්කරු දිනය තහනම් කළ ජේ.ආර්. ජයවර්ධන පාලනය ඊට එකග නොවී සිය කම්කරු දින අයිතිය ආරක්ෂා කරන්නට කටයුතු කරමින් මව්බිම සුරැකීමේ ව්‍යාපාරය නමින් කම්කරු දිනය සමරන්නට එක්වූ ප‍්‍රගතිශීලින්ට වෙඩි තබා පොලිස් පහරදීම් සිදුකරණ ලදී.

එහෙත් කම්කරුවන් මර්දනය කිරීමේ එම ඉතිහාසයෙන් පසුව පිට පිට වසර දෙකක්ම කම්කරුවන්ගේ ජාත්‍යන්තර දිනය අහෝසි කිරීමට කටයුතු කළ පාලකයන් ලෙස වත්මන් එ.ජා.ප. පාලනය හඳුන්වා දිය හැකිය. 2018 ආණ්ඩුව කම්කරු දිනය අහෝසි කළේ වෙසක් උත්සවය හේතුව කරගෙනය. මෙවර හේතුව ලෙස දක්වන්නේ බෝම්බ ප‍්‍රහාර එල්ලවීමේ තත්වයයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය හේතුවෙන් රට තුළ ඇතිව තිබෙන කම්පනය හා භීතිය නිසා කම්කරු දිනය නොපවත්වන බවට විවිධ දේශපාලන පක්ෂ විසින් කල්තියා නිවේදනය කර ඇත. එහෙත් කිසිවකු විසින් ලොව පුරා කම්කරුවන් සිය සටන්කාමිත්වයේ දිනය ලෙස සලකන මේ අවස්ථාව සමරනවාද නැද්ද යන්න තීරණය කළ යුතුවන්නේ ‘ජාත්‍යන්තර කම්කරු දිනය‘ පිළිබඳ ඔවුන්ට ඇති ඇගයීම අනුවය. එක් එක් දේශපාලන පක්ෂ හා කල්ලි විසින් මැයි 1 වැනිදාට ‘මැයිදිනය‘ පවත්වන්නට තීරණය කරන්නේ තම දේශපාලනයේ ප‍්‍රචාරක කාර්යයක් ලෙසය. එය ඔවුන්ට ‘ජාත්‍යන්තර කම්කරු දිනය‘ නොව, මැයි 1 වැනිදාට සිය පක්ෂයේ වර්ණය, නායකයන්ගේ දැවැන්ත කටවුට් පාවිච්චි කරමින් සිදුකරන වතාවතක් පමණකි. නමුත් ජාත්‍යන්තර කම්කරු දිනය යනු ලෝකය පුරා වැඩ කරන ජනතාව තම අයිතිවාසිකම් වෙනුවෙන් සාමුහිකව පෙළ ගැසෙමින් සටන්කාමී ලෙස අරගල කරන දිනයයි.
ජාතයන්තර කම්කරු දිනයක් නම් කෙරුනේ එනම්, ජනප‍්‍රිය අරුතින් සෑම වසරකම මැයි 1 වැනිදා ‘ලෝක කම්කරු දිනය’ ලෙස නම් කෙරුනේ ඇයිද යන්න පිළිබඳ සළකා බැලිය යුතුය. 1884 ඔක්තෝබර් මාසයේදී අමෙරිකා එක්සත් ජනපදයේ කම්කරුවන් දස ලක්ෂ ගණනක් සාමාජිකත්වය දරන වෘත්තිය සමිති එක්ව ඒ වනවිට පැවති දුෂ්කර කොන්දේසි සම්බන්ධව විරෝධය පළ කිරීමටත් විශේෂයෙන් වැඩ කරන පැය ගණන පැය 8කට සීමාකිරීමටත් සාකච්ඡා කළහ. ඒ වනවිට කම්කරුවන්ට දිනකට පැය 12-14 වැනි දිගු වැඩ කාලයක් කඹුරන්නට ඔවුන්ට සිදුව තිබිණි. අවසානයේ මෙම තත්වය වෙනස් කිරීමට අරගලයක් ඔවුන් විසින් තීන්දු කරණ ලදී. වැඩ දිනය පැය 8 දක්වා සීමා කිරීමට පාලකයන්ට කල්දීමටත් එසේ පැය 8 වැඩ දිනයක් නොදෙන්නේ නම් ඒ සඳහා සටන් කිරීමටත් ඔවුහු තීරණයක් ගත්හ. ඒ අනුව පැය 8 වැඩ දිනයක් ලබා දෙන්නට ඔවුන් 1886 මැයි 1 වැනිදා දක්වා ධනපති පාලකයන්ට කල් දුන්හ.

වසරකට අධික කාලයකින් එළඹුණු එම දිනය දක්වාද වැඩ දිනය පැය 8 දක්වා සීමා කිරීමට පාලකයන් විසින් නම්‍යශීලිතාවයක් දැක්වූයේ නැත. මේ නිසා එදිනට වැඩවර්ජනයක් කැඳවන්නට වෘත්තිය සමිති කටයුතු කරන ලදී. අමෙරිකාව පුරා කම්කරුවෝ විරෝධතා රැස්වීම් පවත්වමින් පැය 8 වැඩ දිනය ඇතුළු කම්කරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ උද්ඝෝෂණයක් ආරම්භ කළහ. චිකාගෝ නගරයේ ඒ සඳහා සටන්කාමී මැදිහත්වීමක් කම්කරුවන් විසින් සිදුකරන ලදී. වැඩ නැවැත්වූ කම්කරුවෝ වීදි බැස උද්ඝෝෂණ පැවැත්වීම නිසා පාලකයන් මහත් අසීරුතාවයට පත් වූ අතර අරගලය බිඳවැට්ටවීමේ කුමන්ත‍්‍රණද දියත් කෙරිණි. මර්දනයට යටත් නොවූ කම්කරුවන් විසින් මැයි 4 වැනිදා සවස පැවැත්වූ එවැනි උද්ඝෝෂණ රැලියකට පොලිසිය කඩාවැදුනු අතර කඩාකප්පල්කාරීන් විසින් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරණ ලදී. එහිදී කම්කරුවන්ට වෙඩි තබන ලද අතර ඇතිවූ ගැටුමෙන් පොලිස් නිලධාරින් 7 දෙනකුද කම්කරුවන් 4 දෙනකුද මරණයට පත් විය.
මෙම පසුබිම තුළ පාලක පන්තිය පැය 8 වැඩ දිනය සඳහා වූ අරගලය මර්දනය කිරීමට පියවර ගත්හ. කම්කරුවන්ගෙන් ගලා ගිය රුධිරයෙන් ඔවුන්ගේ ඇඳුම් රත් පැහැ ගැන්විනි. කෘර පාලකයන්ගේ මර්දනයට විරෝධය පළ කිරීමට ඔවුහු ලෙයින් රත්පැහැ ගැන්වුනු සිය කමිස ඔසවාගෙන සටන් පාඨ හඩ නැගූහ. ලොවපුරා කම්කරුවෝ මෙම නින්දිත අපරාධය නිසා එක්ව විරෝධය පළ කළහ. ලෝකයේ කම්කරුවන්ගේ සාමුහික අරගලයේ ධජය රතුපාට වූයේ එතැන් සිටය. එහෙත් එයින් පසුව පැය 8 වැඩ දිනයක් ප‍්‍රකාශයට පත් කිරීමට පාලකයන්ට සිදු විය. එක්සත් ජනපදයේ පමණක් නොව යුරෝපයේ ඇතුළු ලෝකය පුරාම පැය 8 වැඩ දිනය සම්මතයක් බවට පත්ව තිබේ. ඒ නිසාම පැය 8 වැඩ දිනය ඇතුළු අද වැඩකරන ජනතාව බුක්ති විදින අයිතිවාසිකම්වල ඇත්තේ ඉතිහාසයේ වැඩකරන ජනතාව විසින් නැගූ උද්ඝෝෂණික හඩේ, හෙලූ දහදියේ රුධිරයේ හා කැප කළ ජීවිතවල අනගි ප්‍රතිඵලයයි. 1889 දෙවැනි කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් සම්මත කළ යෝජනාවකට අනුව ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස චිකාගෝ කම්කරු අරගලය ආරම්භ කළ මැයි 1 වැනිදා නම්කරන ලදී.
අද වනවිට කම්කරුවන් ඇතුළු වැඩකරන ජනයා සූරාකමින්, මර්දනය කරමින් සහ රවටමින් සිය අධිපත්‍ය පවත්වාගෙන යන අධිරාජ්‍යවාදී ලෝක බලවතුන්ට ජාත්‍යන්තර කම්කරු දිනයෙහි වැදගත්කමක් නැත. ගෝලීය ධනපති ක‍්‍රමය හා එකට වෙලී සිය රටේ පීඩිත ජනයා රවටමින්, ඔවුන් සූරාකමින්, ඔවුන් අයිතිවාසිකම් ඉල්ලා සිටින විට බැට දෙමින් ඝාතනය කරමින් සිරගෙවල්වල ගාල් කරමින් පාලනය ගෙන යන ලංකාවේ ඇතුළු සියලූ රටවල පාලකයන්ට ලෝක කම්කරු දිනයේ වටිනාකමක් නැත. ඔවුන්ට එය හුදු මැයි දිනය වනවා මෙන්ම සූරාකෑම හා මර්දනය සාධාරණිකකරන කිරිමේත් සිය පාලනය යටතේ ජීවත්වන ජනයා රැවටීමේත් විරුද්ධවාදීන්ට අවලාද නැගීමේත් ප‍්‍රචාරක දිනයක් පමණකි. එහෙත් ලෝකයේ කම්කරුවන්ගේ දීර්ඝකාලීන සහෝදරත්වය හා අරගලය සමරන්නට මැයි 1 වැනිදා යොදාගන්නේ හුදු වාර්ෂික සැමරුමක් ලෙස නොවේ. 1848 කොමියුනිස්ට් ප‍්‍රකාශනයේදී ‘සකල දේශවාසී නිර්ධනයිනි, සමගිවව්’ යනුවෙන් කාල් මාක්ස් හා එංගල්ස් ලබා දුන් ජාත්‍යන්තරවාදී පණිවිඩය අනුව යමින් ලෝකයේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් උදෙසා වූ අරගලය වෙනුවෙන් මැයි 1 වැනිදා සංකේතාත්මකව සමරන්නට ලංකාවේ වැඩකරන ජනතාවට ශුද්ධ වූ අයිතියක් ඇත.
ගෝලීය අධිරාජ්‍යවාදය විසින් ලොවපුරා ගෙන යන පීඩාකාරී සූරාකෑම, මිනිස් සමාජයේ භෞතික හා අධ්‍යාත්මික සම්පත් සියල්ල ගිලදැමීම හා කෙලවරක් නැති හිංසනය විසින් විනාශයන් බිහිකර ඇත. අධිරාජ්‍යවාදය විසින්ම පෝෂණය කරන ගෝලීය ත‍්‍රස්තවාදයේ ප‍්‍රහාර ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ ගෝලීය අධිරාජ්‍යවාදය සහ එකී හාම්පුතුන් සමග පෙළ ගැසෙන ලාංකිය ධනපති පාලකයන්ය. ගෝලීය ත‍්‍රස්තවාදය පරාජය කිරිමට එක් අතකින් ලොව පුරා පීඩිත ජනයා තමන් පෙළෙන පීඩාව, සූරාකෑම හා මර්දනයට එරෙහිව පෙළගැස්වීම අවශ්‍යවන අතර අනෙක් පැත්තෙන් අන්තවාදය හා ජාතිවාදය ඇතුළු විවිධ ආකාරයෙන් පීඩිත ජනයා වෙන්කරන උපක‍්‍රමවලට ගොදුරුවනු වෙනුවට ලෝකවාසී වැඩකරන ජනයාගේ සහෝදරත්වය වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු දිනය වැඩි වැඩියෙන් උනන්දුවෙන් සැමරිය යුතුව ඇත.
අද වනවිට ලංකාවේ වැඩකරන ජනතාවගේ දහසක් ඉල්ලීම් පාලකයන් විසින් නිහඩතාවයේ වැලිතලාවට යටකරමින් සිටී. ඒ මත අන්තවාදීන්ගේ බෝම්බවල මහ හඩ නැගී කම්කරුවන් සිය ජිවිත කාලයම විදින සූරාකෑමේ හා පීඩාවේ කොන්දේසිවලට එරෙහිව නගන හඩ යටපත් කරනු ලැබ ඇත. ඒ නිසාම චිකාගෝ කම්කරුවන්ගේ අරගලය මර්දනය කරමින් පාලකයන් විසින් එල්ලා මරා දමන ලද කම්කරු නායක ‘ඔගස්ට් ස්පයිස්‘ විසින් එදා පෝරකයට යන්නට පෙරාතුව කළ මේ ප්‍රකාශය, අදත් ස්වකීය සාධාරණ අයිතිවාසිකම් උදෙසා සටන් වදින වැඩකරන ජනතාවගේ මුව මුව ප්‍රතිරාව නංවනු ඇත.
“නුඹලා විසින් අපගේ ගෙල මිරිකා ඇතිකරන මේ නිහැඩියාව, අදට වඩා බලවත්වන හෙට දවසක් උදාවනු ඇත.!”