தமிழ்
English
Contact
Monday 22nd April 2019    
මහින්ද පාලනය සිදුකළ කටුනායක මෘග ප්‍රහාරයේ වින්දිතයන්ට රජයෙන් වන්දි ගෙවිය යුතුයි - ශ්‍රේෂ්ඨාධිකරණය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්ද පාලනය සිදුකළ කටුනායක මෘග ප්‍රහාරයේ වින්දිතයන්ට රජයෙන් වන්දි ගෙවිය යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණය



මහින්ද රාජපක්ෂ පාලනය යටතේ කටුනායක වෙළද කලාපයේ සේවක විරෝධතාවකදී සිදුකළ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයෙන් පීඩාවට පත් වින්දිතයන්ට රජයෙන් වන්දි ගෙවියයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වාදෙන මුවාවෙන් සේවක අරමුදල් කොල්ල කෑමට මහින්ද රාජපක්ෂ පාලනය උත්සාහ කළ අවස්ථාවේ එනම් 2011 මැයි 30 වැනි දින කටුනායක සේවකයෝ මහපාරට පැමිණ කළ විරෝධතාවයට පොලිසිය හා කැරලි මර්දන ඒකක යොදා කළ අමානුෂික පහරදීමෙන් රොෂේන් චානක කම්කරුවා මරණයට පත් විය. ඉන් වසර 08ක් ගත වූ පසු එම පොලිස් ප‍්‍රහාරය මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පහරදීමෙන් වින්දිතයන්ට සිදුවූ අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධව රජය වන්දි ගෙවිය යුතු බවට නියෝග කර ඇත.

යෝජිත එම විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කරමින් ඊට විරුද්ධව මැයි 24 වන දින දියත් කළ උද්ඝෝෂණ ව්‍යාපාරයකට කටුනායක නිදහස් වෙළද කලාපයේ 40ල000 ට අධික සේවක සේවිකාවන් පිරිසක් පැවැත්වූ සටන්කාමී එහෙත් සාමකාමී විරෝධතාව නිසා ආණ්ඩුව කලබල විය. මේ හේතුවෙන් පාලකයන් ගෙනා විශ‍්‍රාම වැටුප් ක්‍රමයට අදාළ යෝජනාව ඉල්ලා අස්කර ගන්නා ලදී. කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවක උද්ඝෝෂණයෙන් කිපුණු මහින්ද රාජපක්ෂගේ අන්තේවාසික දේශපාලනඥයින් කිහිප දෙනෙකු සටන්කාමී විරෝධතාවට පණ පෙවූ සේවකයන්ගෙන් පළිගැනීම සදහා ප්‍රචාණ්ඩ මෙහෙයුමක් දියත් කර තිබිණි. මැයි 30 වන දින කටුනායක ආයතනවලට කඩා පැන සේවකයන්ට පහරදීම සදහා සූදානම් වූ අතර එදින සේවක විරෝධතාවට ඉතා අමානුෂික පොලිස් ප‍්‍රහාරයක් එල්ල කරන ලදී. කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවක සේවිකාවන් විශාල පිරිසක් පොලිස් ප්‍රහාරයෙන් පසුව රෝහල්ගත කරන ලද අතර එම වෙඩි ප‍්‍රහාරයට මැදි වූ රොෂේන් චානක මිය ගියේය.

මෙම නින්දිත මැර ප‍්‍රහාරය සම්බන්ධයෙන් දේශීයව විරෝධය මතුවන අතර ලොව පුරා ආණ්ඩුව අපකීර්තියට පත් විය. එසේ මර්දනකාරී ත්‍රස්තවාදයක් ආණ්ඩුව වසින් පවත්වාගෙන යන බවට වූ අපවාදයෙන් ගැලවීම පිණිස එම සිදුවීම සම්බන්ධයෙන්විමර්ශනයක් කරනු පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් විශ‍්‍රාමලත් විනිසුරු මහානාම තිලකරත්නගේ මූලිකත්වයෙන් ඒක පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කළේය. එම කොමිසමේ නිර්දේශ සහිත වාර්තාවක් 2011 ජූලි මස 15 හිටපු ජනාධිපති වෙත භාර දෙනු ලැබුවත් මහින්ද රාජපක්ෂ විසින් එය යටපත්කරණ ලදී. කටුනායක ප්‍රහාරය ඇතුළු මහින්ද රාජපක්ෂ පාලනයේ මර්දනයට ලක්වූවන්ට යුක්තිය ඉටුකරන බවට කියමින් 2015 ජනවාරියේ බලයට පත් වත්මන් ජනාධිපති හා යහපාලන ආණ්ඩුව යටතේ ද මහානාම කොමිසම් වාර්තාව ප‍්‍රසිද්ධියට පත් නොකෙරිණි.

කෙසේවෙතත් එම මෘග පොලිස් ප‍්‍රහාරය නිසා විවිධ ශාරීරික ආබාධයන්ට ලක්වූ සේවකයන් 13 දෙනෙකු වෙනුවෙන් ‘නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ‘ මූලිකත්වයෙන් මූලික අයිතිවාසිකම් නඩු 13 ක් ගොනු කර තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද මෙම නඩු විභාග කිරීමෙන් පසු 2019 අපේ‍්‍රල් 05 වන අද දින එම නඩුවලට අදාල නියෝග නිකුත් කරමින් එම මෘග පොලිස් ප‍්‍රහාරය නිසා එම සේවකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් සිදු කර ඇති බවට තීරණය කළ බව ප‍්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම වින්දිතයින් සදහා වන්දි ගෙවිය යුතු බවට ද එකී වන්දි මුදල් රජය විසින් ගෙවිය යුතු බවට ද නියෝග කරන ලදී.

මෙම නඩු සදහා ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ ප‍්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් 13 දෙනෙකු කිසිදු අය කිරීමකින් තොරව පෙනී සිටීම විශේෂත්වයකි.