தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිගෙන් පිළිකා ඖෂධ ආනයනය ගැන ප්‍රශ්න කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිගෙන් පිළිකා ඖෂධ ආනයනය ගැන ප්‍රශ්න කරයි!



ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් සභාපතිවරයාට අප්‍රේල් 9 වැනිදා රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට පැමිණෙන ලෙස නියෝග කර ඇත.

පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබා දීමට විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සභාපතිවරයාට නොතීසි නිකුත් කරණ ලදී. එම එන්නත් ගෙන්වීම සිද්ධිය සිදුවී ඇතැයි කියන 2015 ‐ 2018 වකවානුවේ සිටි සභාපතිවරයාට ද එදිනම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කෙරිණි. ඒ අනුව මොවුන් දෙදෙනාටම එදින පෙරවරු 9.30 ට කොමිසම හමුවේ පෙනී සිටිය යුතුව තිබේ.

ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාග කටයුතු අප්‍රේල් 5 වැනිදා පෙරවරු 9.30 ට ආරම්භ වූ පසුව නියමිත වූයේ පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ ගනුදෙනුව සම්බන්ධ විමර්ශනයයි. සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල වැඩිදුර විභාගයේ දී සාක්කි දුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදී ගෝපි ක‍්‍රිෂාන්ත ද සිල්වා කියා සිටියේ එම බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් ඇගයීම් වාර්තාව ලබා දුන් මහාචාර්ය අසිත ද සිල්වා මහතා පසුව අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් වූ බවය. එහිදී අදහස් දැක්වූ ජනාධිපති කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න කියා සිටියේ මෙම පැමිණිල්ල පිළිබඳ විභාගයේ දී අදාළ ඖෂධ වර්ගය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවය. සාක්කි විභාගයේදී වෙනත් ඖෂධ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම හෝ සඳහන් කිරීම මෙම විභාග කටයුතු වෙනතකට යොමු කිරීමක් බැවින් එසේ විභාග කටයුතු වෙනත් මඟකට යොමු කිරීමෙන් වළකින්නැයිද කොමිසමේ සභාපතිවරයා සාක්කිකරු වෙත අවවාද කළේය.