Posted on 10.13.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගන්නා බව නීතිපතිවරයා අද (13) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
2008 වසරේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවට තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා නගා තිබිණි.
මෙම තරුණයන් තරුණයින් එකොළොස් දෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ දාහතර වන විත්තිකරු ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නම් කර තිබේ.
තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පැවරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කෙරෙන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගොනුකළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා එම දැනුම් දීම සිදුකර තිබේ.
මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ අදාළ නඩු කටයුත්තේ විත්තිකරු වශයෙන් නම් කර සිටින පෙත්සම්කාර හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවය.
ඒ අනුව ඒ පිළිබඳව මහාධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව මෙම නඩුකරයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එය නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.