හෝමාගම කේන්ද්‍ර කරගෙන ඉදිකරන්නට ආණ්ඩුව විසින් සැලසුම් කර ඇති තාක්ෂණ නගරයේ මාර්ග ඉදිකිරීම් ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා හෝ ජනජීවිතය නොතකා ආයෝජකයන් ආකර්ෂනය කිරීමේ අවශ්‍යතා අනුව කළ සැලසුම්වල ප්‍රතිඵලයක් බව අනාවරණය වේ.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මේ වනවිට ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ යටිතල පහසුකම් ලෙස මාර්ග ඉදිකිරීම් කටයුතු මේ මොහොතේ සීග‍්‍රයෙන් සිදුවෙන බවකි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රචාරක ඒකකය විසින් ජනමාධ්‍ය ඔස්සේ විවිධ සාධනීය කරුනු මවා ප්‍රසිද්ධ කරනු ලබයි. එහෙත් එම මාර්ග ඉදිකිරීම් සදහා ආරම්භයේදී ඉඩම් පර්චස් 3250ක් පමණ අත්පත් කරගන්නට ආණ්ඩුව සැලසුම් කර තිබේ. ආණ්ඩුවේ නියෝජිතයන් පවසන අන්දමට මෙම මාර්ග සංවර්ධන කටයුතු ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සදහා සිදුකරන්නක් නොවන බව පැහැදිලිය. මාර්ග පහසුකම් යටතේ පිටිපන – තලගල මාර්ගය, දාම්පේ මාර්ගය, උඩුවන පන්සල හන්දිය මාර්ගය, කහතුඩුව ජම්බුගස්මුල්ල මාර්ගය සහ මාහේනවත්ත නව පිවිසුම් මාර්ගය ඇතුළු තවත් නව පිවිසුම් මාර්ග කිහිපයක් සහිත මාර්ග කොටස් 6 ක් හඳුනාගෙන තිබෙන බවට අමාත්‍යංශය ප්‍රකාශ කළද ඉහත ඉඩම් පවරා ගැනීම් ගැන හෙලිදරව් කිරීමක් නැත. අලුතින් ආයෝජකයන් ගෙන්වා ගැනීමට හැකිවන ලෙස නිර්මිත සැලසුමක් වන තාක්ෂණ නගරයට මෙසේ මාර්ග ජාලයක් එකතු කිරීම හෝමාගම ජනතාවගේ ජීවිත යටකරගෙන ඉදිකරන කල්පිත තාක්ෂණ නගරයේ මාර්ග පද්ධතියක ආරම්භක පියවරයන්ය. ආයෝජකයන් සිය ලාභ අවශ්‍යතා සදහා පිහිටුවනු ඇතැයි අපේක්ෂිත විවිධ දැවැන්ත ආයතන යාකිරීමට ඉදිකරන දැවැන්ත මාර්ග පද්ධතියක් තාක්ෂන නගර ව්‍යාපෘතියට අයත්වන අතර ඒ සැලසුම් හෙළිදරව් නොකර ජනතාවට වාසිදායක මාර්ග ඉදිකිරීම් සිදුවන බවට ප්‍රචාර ගෙනයනු ලැබේ.
මෙහිදී මංතීරු 4 අලුත් මාර්ග කිහිපයක් අතුළුව මාර්ග පද්ධතියක් වසර 3ක් තුළ තාක්ෂණ නගරයට ඉදිකර දෙන්නට මහනගර සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර ඇත. මේ මාර්ග පද්ධතිය දිගින් කිලෝමිටර් 142ක් සහිත අලුත් හා පැරණි මාර්ග 22කින් සමන්විත බවත් ඒවා තාක්ෂණ නගරයේ අවශ්‍යතා සදහා ඉදිකිරීමේදී හා පුලුල් කිරිමේදී සිදුවන ඉඩම් හා නිවාස අත්පත්කරගැනිම්, පාරිසරික විනාශය හෙලිදරව් නොකර ‘සංවර්ධනය’ යන වචනයට මුවා වී ජනතාව මුලාවක දමන බවද පෙනී යයි. විශේෂයෙන්ම තාක්ෂන නගර ව්‍යාපෘතියට අදාළව පාරිසරික ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර නැත. සිදුවන විනාශය හෝ ඒවාට පිළියම් යෙදීමක් තාක්ෂන නගර ව්‍යාපෘතිය සතුව නැත. ඒ නිසා යටිතල පහසුකම් සංවර්ධනයක් ගැන ප්‍රචාරයන් කොතෙක් සිදුකළත් ජනතාවගේ ජිවිත මතින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බව මේ හැංගි හොරා කරන සැලසුම් අනුව පෙනී යයි.
තාක්ෂණ නගර ව්‍යාපෘතිය යටතේ කොළඹ, මොරටුව සහ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණික පීඨයන් මෙම ප‍්‍රදේශවල ඉදිවෙන බවට ආවරණයක් ලෙස පවසන මෙම ප්‍රචාරකයන්, තාක්ෂණ නගරයේ ප්‍රධාන අරමුණ අධ්‍යාපනය විකුණන අධ්‍යාපන ආයතන පිහිටුවීම සහ තාක්ෂණ දැනුම වෙළදභාණ්ඩකරණය කළ, වඩාත් විවෘත වෙළද කලාපයක් පිහිටුවීම බව ජනතාවට සගවයි.