පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප රුපියල් 10,000 සිට 12,500 දක්වා එනම් 2500 න් ඉහළ නැංවීම සඳහා 2016 අංක 3 දරණ සේවකයින්ගේ අවම වේතන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව වාර්තාවේ.
එහිදී පෞද්ගලික අංශයේ සේවයේ නියුතුවූවන්ගේ අවම දෛනික වැටුප ද රුපියල් 400 සිට රුපියල 500 දක්වා ඉහළ නැංවීම සඳහා ද පියවර ගැනීමට නියමිතය.
සේවකයන්ගේ අවම වේතන පනත යටතේ 2016 ජනවාරි 1 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 10,000ක් විය යුතු බවටත් අවම දෛනික වැටුප රුපියල් 400ක් විය යුතු බවටත් නිර්දේශ කර තිබේ.
වර්තමානයේ පවතින ජීවන වියදමට අනුව එය ඉහළ නැංවිය යුතු බවට ජාතික කම්කරු උපදේශක සභාව නිර්දේශ කරනු ලැබ තිබූ අතර එම නිර්දේශ සැළකිල්ලට ගනිමින් මෙම පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව සඳහන් වේ.
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.
පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ දමන ලෙසට විවිධ වෘත්තීය සමිති වසර ගණනාවක් පුරා අරගලයක නිරත වෙමින් සිටියි. ඒ යටතේ කම්කරු අරගල මධ්‍යස්ථානය පෞද්ගලික අංශයේ අවම වැටුප 25000ක් දක්වා වැඩි කරන ලෙසට අරගලයක නිරත වෙමින් සිටියි. එම සංවිධානය පවසන්නේ 2020 වන විට රජයේ සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 25,000ක් වෙන බවත් රජයේ සේවකයන්ට සේම සෙසු සියලු දෙනාටම බලපාන්නේ එකම ජීවන කොන්දේසි බැවින් පෞද්ගලික අංශයේ අවම මූලික වැටුපත් රුපියල් 25,000ක් දක්වා වැඩි විය යුතු බවයි. අනිත් අතින් ජීවන වියදමට සාපේක්ෂව වැටුප් වැඩිකරන්නේ නම් රු 2500න් වැටුප් වැඩිකිරීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය.