තේරීම් කාරක සභාවේ බහුතරයට කඹ ඇදිල්ලක්!

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දේශපාලන පක්ෂ විසින් පත් කරන සාමාජිකයන් සංඛ්‍යා පිළිබද නිශ්චිත කරගැනීමට නොහැකි වීමෙන් හෙට පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධව තීරණ ගැනීමට දුෂ්කරතාවක් මතුවන බව අනාවරණය වෙමින් තිබේ.

මේ වන විට මෙම තේරීම් කාරක සභාවට විවිධ දේෂපාලන පක්ෂවල නියෝජිතයන් නමිකර ඇති අතර මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ශ්වය පෙන්වා දෙන්නේ සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත තේරීම් කාරක සභාවේ බහුතර සාමාජික සංඛ්‍යාවක් සිය පක්ෂයට හිමිවිය යුතු බවයි. ඒ සදහා සාමාජිකයින් 07 දෙනෙකුගේ නාම ලේඛනයක් ඊයේ(21) දිනයේ සභා නායක දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කර ඇති අතර දිනේෂ් ගුණවර්ධන, එස් බී දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, තිලංග සුමතිපාල සහ උදය ගම්මන්පිල යන නම් එහි ඇත. කෙසේවෙතත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතරය සිය පාර්ශවයට ලබාදීමට කථානායකවරයා පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පවසයි.

එක්සත් ජාතික පෙරමුණ මේ දක්වා තේරීම් කාරක සභාවට සාමාජීකයින් නම්  කර නොමැති අතර අද එම නම් කිරීම් සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂිතය. එක්සත් ජාතික පක්ෂයේ රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පැවැසුවේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරු සංඛ්‍යාවකගේ සහය හිමිවන පාර්ශවයට තේරීම් කාරක සභාවේ  ද බහුතරය හිමිවිය යුතු බවයි.

Chandana Sirimalwatte :