Posted on 11.28.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඉතාලිය, ඔස්ට්‍රියාව, චෙක් ජනරජය හා නෙදර්ලන්තය යන රටවල්වලින්ද ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් හඳුනාගෙන තිබේ.
දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වැඩිම විකෘතිතා ගණනකට ලක්වූ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වනවිට අප්‍රිකානු මහද්වීපයෙන් නොනැවතී යුරෝපා හා ඔස්ට්‍රේලියා මහද්වීප දක්වා රටවල් 10ක පැතිර ගොස් තිබේ.
දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, හොංකොං, ඊශ්‍රායලය, බෙල්ජියම යන රටවලට අමතරව බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉතාලිය හා ඔස්ට්‍රේලියාව එම ලැයිස්තුවට අලුතින්ම එක්වූ රටවල් හතරයි.
දකුණු අප්‍රිකාවේ සිට ගුවන්යානා දෙකකින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණි පුද්ගලයින් 13 දෙනෙකුගෙන් ද ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හඳුනාගෙන තිබුණි.
අද පස්වරුවේ විදෙස් මාධ්‍ය මේ බව තහවුරු කළ අතර මෙතෙක් යුරෝපීය රටකදී එකවර හඳුනාගත් වැඩිම ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාවද මෙය වෙයි.
එමෙන්ම පළමුවරට ඔස්ට්‍රේලියාවෙන්ද ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනාගැනුණු අතර එම ආසාදිතයන් දෙදෙනාම පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටි අය වීම විශේෂත්වයකි.
මේ අතරවාරයේ ලෝක සෞඛ්‍ය සංවිධානය අග්නිදිග ආසියානු රටවලට අනතුරු අඟවමින් ප්‍රකාශ කර ඇත්තේ කිසි ලෙසක හෝ ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් බැහැර නොවිය යුතු බවය.
ජර්මනියෙන් හඳුනාගත් ආසාදිතයින් දෙදෙනාද දකුණු අප්‍රිකාවේ සංචාරය කර පැමිණි පුද්ගලයින් වෙයි.
ඉතාලියෙන් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයා අප්‍රිකානු මහද්වීපයට අයත් මොසැම්බික් රාජ්‍යයේ සංචාරය කර පැමිණි අයෙකි.
ඔමික්‍රෝන් ආසාදිතයෙකු වාර්තා වූ පළමු යුරෝපා රට වූ බෙල්ජියමෙන් හඳුනාගත් ආසාදිතයා මෑතකදී ඊජිප්තුවේ සහ තුර්කියේ සංචාරය කර ඇති බව වාර්තාවී ඇත.
චෙක් ජනරජයේද පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හඳුනාගෙන තිබෙන අතර ආසාදිත කාන්තාව නැමීබියාවේ සිට දකුණු අප්‍රිකාව සහ ඩුබායි හරහා එරටට පැමිණ ඇති බව බලධාරීන් තහවුරු කර තිබේ.
ඔස්ට්රියාවෙන්ද ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයෙක් හඳුනාගත් බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය.
පවතින තත්ත්වය හමුවේ සියලු විදේශිකයන්ට රටට ඇතුළුවීම දින 14ක කාලයකට තහනම් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති අතර නව ප්‍රභේදය හමුවේ සමස්ත දේශසීමා වසා දැමූ පළමු රට වන්නේ ඊශ්‍රායලයයි.
දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, මොසැම්බික් ඇතුළු අප්‍රිකානු රටවල් 7ක් සඳහා සංචාරක තහනමක් පැනවීමට මාලදිවයිනද අද පියවර ගෙන තිබේ.
ඔමික්‍රෝන් ප්‍රභේදය දැනට ලොව නිෂ්පාදනය කර ඇති කොවිඩ් මර්දන එන්නත්වලට ප්‍රතිරෝධය දක්වන බව විශේෂඥයින් අනාවරණය කරමින් සිටී.
අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඑන්ටෙක් සමාගම් පවසන්නේ නව ප්‍රභේදය එන්නත මගින් ලබාදුන් ප්‍රතිශක්තිය අබිබවා යන්නේ නම් දින 100ක් තුළ ඊට ඔරොත්තු දිය හැකි නව එන්නතක් නිපදවිය හැකි බවය.