පොදුජන අරගල මැඩලීමට ගෙන එන ප්‍රති ත්‍රස්ත පනතට එරෙහි වෙමු – වෙනසක තාරුණ්‍ය

ආණ්ඩුව අලුතින් හඳුන්වා දීමට යන ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව සංවිධානය නොවුනහොත් ඉදිරියේදී වෘත්තීය සමිතියක් හෝ සිවිල් සංවිධානයක් ආරම්භ කිරීමට නොහැකි වනු ඇති බව වෙනසක තාරුණ්‍ය පවසයි.

උද්ඝෝෂණයකට සහභාගී වීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වා අත්අඩංගුවට ගැනීමේ බලය පොලීසිය භාර ඇමතිවරයාට පැවරෙන මෙම පනත මගින් උද්ඝෝෂණයකට සහභාගී වන අයගේ පවුල්වල සාමාජිකයන්ද ත්‍රස්තවාදීන් ලෙස නම්කර තිබෙන බව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර මෙහිදී පැවසිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකය ලබාගැනීම සඳහා ආණ්ඩුව අධ්‍යාපනය, සෞඛ්‍ය, ඇතුළු අංශ ගණනාවක් පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවත්, ඊට විරුද්ධව නැගී සිටින ජනතාව පාලනය කිරීම සඳහා මෙම පනත ගෙන එමින් තිබෙන බවත් ඔහු පවසයි.

මෙම පසුබිම තුළ ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කරගන්නා ලෙස ආණ්ඩුවට බලකරමින් කොළඹ බෝධිය ඉදිරිපිට අද(11) සවස 3ට උද්ඝෝෂණයක්ද පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී අදහස් දක්වමින් ළහිරු වීරසේකර පැවසුවේ ” ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ඔමිසමට පොරොන්දුවක් වෙලා තිබෙනවා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන බවට. එවැනි පොරොන්දුවක් ලබාදී තිබියදී ත්‍රස්ත විරෝධී පනත, සංවිධානාත්මක අපරාධ වැළක්වීමේ පනත, අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ පනත ලෙස ආණ්ඩුව පනත් තුනක් හඳුන්වා දීමට සූදානම් වෙනවා. සංවිධානාත්මක අපරාධ වැළක්වීමේ පනත මගින් සංවිධානාත්මක දේශපාලන ක්‍රියාකාරකම් නැවත්වීමට ආණ්ඩුවේ අරමුණ වී තිබෙනවා.

පහුගිය කාලේ ආණ්ඩුවට තර්ජනයක් වුණේ සංවිධානත්මක දේශපාලන ක්‍රියාකාරකම්. සයිටම් සටනේදී වෛද්‍යවරුන්, ගුරුවරුන්, වර්ජනය කළා. දුම්රිය සේවකයන්, තෙල් සේවකයන් වෙනත් අවස්ථාවල වැඩ වර්ජනය කළා. ආණ්ඩුව අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම කියලා පනතක් ගේන්නෙ මේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරලා ඕනෑම අවස්ථාවකදී වැඩවර්ජන තහනම් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන්න. ත්‍රස්ත විරෝධී පනතේ තිබෙන බරපතලකම තමයි මේකේ නිර්වචනයේ ඉඳන්ම අර්බුදයක් තිබෙන්නේ.

Sithara Sajeewani :