ඩිෆෙන්ඩර් රථයකින් යටකරගෙන යාම නිසා මියගිය පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
පූර්ණ පොලිස් ගෞරව සහිතව පැවැත්වෙන අවමංගල කටයුතුවලට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගී වීමට නියමිත බව රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනමාධ්‍ය වෙත පවසා තිබේ.
දරුවන් තිදෙනෙකුගේ පියකු වන ආනන්ද සාගර සරත්චන්ද්‍ර 1989 වසරේදී උප පොලිස් පරීකෂකවරයකු ලෙස සේවයට එක්වූවෙකි. 2018 වසරේ නොවැම්බර් 10 වනදා සිට ඔහු බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන ස්ථානාධිපති ලෙස කටයුතු කළේය.
පෙබරවාරි 24 වැනිදා රාත්‍රි යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී බම්බලපිටිය ප‍්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් යටකරගෙන යාම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහු සෙනසුරාදා (9) අභාවප‍්‍රාප්ත විය.
මෙම මරණයට හේතු වූ ඩිෆේන්ඩර් රථය අනතුර සිදුකර පලාගොස් තිබුණි. ඉන්පසුව එය බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසකදී පොලිස් භාරයට ගැනුණි. රිය තුළ බීමතින් ගමන්ගත් බවට සැක පිට අත්අඩංගුවට පත් පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේගේ පුත්‍රයා ද සිටි අතර ඔවුන් රාත්‍රි සමාජ ශාලාවක විනෝද වී ආපසු යමින් සිටියදී උදෑසන 4.35ට පමණ මෙම අනතුර සිදුව ඇත.