Posted on 12.30.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු, නීතිඥයකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයකු සහ පුවත්පත් කලාවේදියකු වූ ප්‍රින්ස් ගුණසේකර, ලන්ඩනයේදී අභාවයට පත්විය.
ලංකාවේ ප්‍රගතිශීලී බුද්ධිමතුන් අතර විශ්ෂ්ඨ ආදර්ශයක් සටහන් කරමින් ජීවිත අවදානම දරාගනිමින් රාජ්‍ය මර්දනයට එරෙහිව ජනතාව වෙනුවෙන් සටන් කළ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි මහජන නියෝජිතයකු ලෙසත් ප්‍රතිපත්තිමය හේතු මත පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රිවරයකු බවට පත්වූ මන්ත්‍රිවරයකු ලෙසත් ඔහු ඉතිහාසයට එක් විය.
1971 අප්‍රේල් නැගිටීමේදී රාජ්‍ය මර්දන හමුදාවල ගොදුරු බවට පත්වූ කදවුරුවලදී සහ වෙනත් ස්ථානවල සිරගත කරනු ලැබූ සටන්කාමී සොයුරු සොයුරියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි ඔහු ජාතයන්තර මානව හිමිකම් ක්‍රියාකාරිත්වයේ අවධානය යොමු කරමින් දහස් ගණනකගේ ජීවිත ආරක්ෂා කිරීමේ සිට මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරදීම වෙනුවෙන් කැපවී තටයුතු කළ අයෙකි. එසේම 1983 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමේ සිට වාමාංශික ක්‍රියාකාරින් රාජ්‍ය ත්‍රස්තවාදයට ගොදුරු කිරීමේදීත් 1989 නිල හා නිල නොවන සන්නද්ධ කල්ලි යොදාගත් රාජ්‍ය මර්දනයේදීත් ඔහු ජීවිත අවදානම නොතකා ක්‍රියාකාරි විය.
1924 ජූලි 17 වැනිදා ගාල්ල කගලුවේදී උපත ලද හෙතෙම, එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලැබ ලංකාවේ නීති විද්‍යාලයේ වෘත්තිය අධ්‍යාපනයෙන් පසුව නීතිඥයකු බවට පත් විය. 1956 මහජන එක්සත් පෙරමුණ බිහිකිරීමේදී ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වුවද ඔහු මැතිවරනයට තරග කිරීමට වඩා ස්වාධීනව දේශපාලන ක්‍රියාකාරිත්වයට සම්බන්ධවීම ප්‍රිය කළේය. කෙසේවෙතත්, රටේ ඇතිවූ දේශපාලන වර්ධනයන් හමුවේ 1965 ස්වාධීන අපේක්ෂකයකු ලෙස හබරාදූව ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු 1970 මහමැතිවරණයේදී ශ්‍රීල.නි.ප. මන්ත්‍රිවරයකු ලෙස හබරාදූව ආසනයට පත් විය. එහෙත් 1971 අරගලයේදී සමගි පෙරමුණු ආණ්ඩුව ගෙන ගිය දුර්දාන්ත ක්‍රියාමාර්ග හෙළා දකිමින් ඔහු 1972 සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රිවරයකු ලෙස ක්‍රියාකාරී විය. 1989 අරගලය මර්දනය කරමින් එ.ජා.ප. ආණ්ඩුව දියත් කළ භීෂණය තුළ මානව හිමිකම් ක්‍රියිධරයන් හා නීතිඥයන් පවා ඝාතනයට ලක්විය. එහිදී ඔහු ජීවිත ආරක්ෂාව පතා රටහැර යාම හැර විකල්පයක් නොතිබූ දහස් ගණනක් මිනිසුන් අනුගමනය කරමින් එංගලන්තය බලා ගිය අතර මිය යනතුරුම ලේඛන කටයුතු කරමින් ජීවත්වූයේ ලන්ඩන් නගරයේය. අභාවයට පත්වන විට මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ වයස අවුරුදු 94ක් විය.